Home » හත්පෝරුව විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් නටබුන් රැසක්

හත්පෝරුව විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් නටබුන් රැසක්

by mahesh
October 13, 2023 12:59 am 0 comment

වැල්ලවාය විශේෂ ජී. අයි. ආර්. ගරුසිංහ

බුත්තල හත්පෝරුව පුරාණ විහාරස්ථානයේ ගරාවැටී තිබූ චෛත්‍යය ආශ්‍රිතව සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලදී එම චෛත්‍යය ආශ්‍රිතව නටඹුන් රැසක් සොයා ගැනීමට හැකිවී ඇතැයි විහාරස්ථානයේ විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික් සංස්කෘත භාෂා පිළිබඳ ගුරු උපදේශක බුත්තල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, සිරි බෞද්ධාලොක පිරිවෙනේ පරිවෙණාධිපති හත්පපෝරුව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති මුතුකෙලියාවේ පියරතන හිමියෝ පවසා සිටියහ.

ගරාවැටී විනාශ වී යමින් තිබූ මෙම චෛත්‍යය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට මැදිහත්වන ලෙස උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ දායක සභාව විසින් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. එච්. එම්. ධර්මසේන මහතා වෙත කළ දැනුම් දීමකට අනුව ඒ මහතා විසින් එම චෛත්‍යයේ කැණීම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා දී තිබේ. කැණීම්වලදී චෛත්‍ය වටා තිබූ පිළිම වහන්සේලා සිවුනමක්, ප්‍රාකාර බැම්ම ඇතුළු නටබුන් රැසක් හමුවී ඇති අතර, මීට වසර කිහිපයකට පෙර එම චෛත්‍යය හාරා නිදන් සෙවීමට යොදාගත් උමඟයක් ද හමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විහාරාධිපති හිමියෝ මෙසේ ද පවසා සිටියහ. මේ විහාරස්ථාන භූමියේ දේවානම්පියතිස්ස මහා රජතුමා විසින් රෝපණය කරන්නට යෙදුන දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ නමක් තිබෙනවා. එහි බොහෝම හාස්කම් තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව වැඳුම් පුදා ගැනීම සඳහා නිතරම විහාරස්ථානයට පැමිණෙනවා. දැනට අවුරුදු දෙදහස් පන්සීයකට අධික කාලයක් ඉපැරණියි. ඒ හා සමාන ඉතිහාසයක් මේ චෛත්‍යයටත් ඇති කියලා අපි විශ්වාස කරනවා. පසුගිය කාලයේ මෙම ඉපැරණි චෛත්‍යය නිදන් සොරුන් විසින් හාරා විනාශ කර තිබුණා. ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මසේන මහතා මුල්වෙලා දායක සභාවේ සහයෝගයෙන් පුරාවිද්‍යා නිලධාරීන්ගේ සහයෙන් කැණීම් කටයුතු ආරම්භ කළා. ඒ තුළින් ලොකු ඉතිහාසයක් අපිට සොයා ගැනීමට ඉඩකඩ ලැබෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි ප්‍රදේශයේ සියලු දෙනාට ආරාධන කරනවා මේ ‌ඓතිහාසික ස්ථානය දැක බලාගනෙ වැඳ පුදාගෙන යන්න එන්න කියලා. මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක, බුත්තල ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් මෙම චෛත්‍යයේ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරන අතර, විහාරස්ථ දායක සභාව අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT