Home » ලෝක ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ ශතක 12යි

ලෝක ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ ශතක 12යි

තරග 35ක් තිබියදී ලෝක වාර්තාවක්

by mahesh
October 13, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය තුළ කණ්ඩායම් හතක ක්‍රීඩකයන් 11ක් දැනටමත් ශතක ලබා වාර්තා පොත් අලුත් කර ඇත. එහිදී ක්වින්ටන් ඩි කොක් ශතක 2ක් වාර්තා කිරීම කැපී පෙනේ. තරගාවලියේ පළමු අදියරේ තරග 45න් තරග 10ක් පමණක් අවසන් වී තවත් තරග 35ක් ඉතිරිව තිබියදී එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ප්‍රමාණයේ ලෝක වාර්තාව දැනටමත් සටහන් වී අවසන්ය.

1975 වසරේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශතක 4ක් වාර්තා වූ අතර, 1979 දී ශතක 2ක්, 1983 තරගාවලියේදී ශතක 2ක්, 1987, 1992 සහ 1996 දී ශතක 4ක් බැගින්, 2003දී ශතක 7ක්, 2007දී ශතක 4ක්, 2011දී ශතක 5ක්, 2015දී ශතක 5ක් හා 2019 දී ශතක 2ක් වාර්තා වී තිබිණි. මෙයට පෙර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ඉහළම ශතක ගණන වාර්තා වූයේ 2003 වසරේ ශතක 7ක් හා 2011, 2015 ක්‍රිකට් තරගාවලියේ ශතක 5ක් පමණි.

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ශතක දහය අටවැනි තරගයට පෙර වාර්තා වීම විශේෂත්වයකි. නවදිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ශතක 4ක්, හයිද්‍රාබාද් රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී ශතක 4ක් වාර්තා වීමෙන් එම ක්‍රීඩාංගණ දෙක පිතිකරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති අයුරු මැනවින් වටහාගත හැකිය. මෙයට අමතරව අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ශතක දෙකක් හා ධර්මසාලා ක්‍රීඩාංගණයේදී හා ලක්නව්හිදී ශතකයක් බැගින් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් ශතක තුනක් රැස් කළ අතර, එය ලෝක කුසලාන තරගාවලියක ඉනිමකදී තනි තනිව ශතක තුනක් වාර්තා වූ පළමු අවස්ථාව වේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේදී පිතිකරුවන් 4ක් ශතක වාර්තා කිරීමට සමත් වූහ. එය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තරගයක ශතක හතරක් වාර්තා වූ පළමු අවස්ථාව වේ.

ලකුණු හඹාගොස් ජය ගැනීමේදී අබ්දුල්ලා ෂෆීක් සහ මොහොමඩ් රිස්වාන් ලෝක කුසලාන තරගයකදී පාකිස්තානයෙන් ශතක රැස් කළ පළමු ක්‍රීඩකයන් දෙදෙනා වූ අතර, එංගලන්තයට එරෙහිව ඩෙවෝන් කොන්වේ සහ රචින් රවීන්ද්‍ර තම මංගල ලෝක කුසලාන තරගාවලියේදී ශතක රැස් කළ පළමු යුගලය බවට පත් විය.

මෙතෙක් රැස් කළ ශතකවලදී දහයක්ම පන්දු 100ට අඩුවෙන් වාර්තා වීමද ක්‍රීඩාවේ වේගවත් බව කියාපාන කදිම සාධකයකි. ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 49කදී ඒඩන් මාක්‍රම් ලබාගත් වේගවත්ම ශතකය එක්දින ලෝක කුසලානයක වේගවත්ම ශතකය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT