Sunday, May 11, 2025
Home » මැරි­ලත් බිසී

මැරි­ලත් බිසී

by Gayan Abeykoon
October 14, 2023 1:00 am 0 comment

න්ටේනර්, ටිපර්, බවුසර්, ස්කූටි කියන්නේ ශ්‍රී ලාංකිකයා මරණය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ගෙන්වන ලද වාහන වේ. මීට අමතරව ඉඳහිට, කන්ටේනර් මඟින් බඩු භාණ්ඩ ප්‍රවාහනය ටිපර්හි පටවා වැලි ගල් පස් ආදිය ද බවුසර් ඇතුලේ තෙල් ද ස්කූටි කාන්තාවන්ගේ ගමන් බිමන් සඳහා ද යොදා ගන්නවා ඇත. මහ මඟ විනය රැකීම වැනි ළදරු පන්නයේ මාතෘකා මේ තීරුව කතා කරන්නේ නැත. එසේ වුවත් පෙරේදා සහ ඊයේ දියණියක් සහ පුතෙක් මේ කාණ්ඩයේ වාහන ඔස්සේ මරණය කරා ළඟා වූහ. ඊට පෙර දින දෙකේ පොලිස් නිලධාරියෙක් සහ නිලධාරිනියක් මරු දුටු හෙයින් ‘ජාතියේ වඳ පෙති’ කිහිපයෙන් එකක් වූ, ඒ ගැන ද කතා කළ යුත්තේය.

පෙරේදා අපෙන් සමුගෙන ගිය ජැක්සන් ඇන්තනී මුල් යුගයේ රඟපෑ වේදිකා නාට්‍යයක් වූයේ මෙතැනින් මාරුවෙනුය. ඊ.එම්.ඩී. උපාලි අධ්‍යක්ෂණය කළ එහි ජැක්සන් ගයන ගීතයක එක තැනකදී “ජෙනරාල් වැලන්ටයින් උතුමාණනි, මම ඔබේ කීකරු බලු කුක්කා පැබ්ලෝ…” යැයි මහ හඬින් කෑ ගසා පවසන්නේය. මෙතැනින් මාරුවෙනු කියන්නේ මාර්ග සංඥාවක, තේරුමය. ලයිසන් ගැනීම සඳහා යෑමේදී ඒ කාලයේ බැලුවේ ඩ්‍රයිවින් පුළුවන් ද කියා පමණය. දැන් ඒ සඳහා පේපර් එකක් ද ලිවිය යුත්තේය. එහි ඇති ප්‍රධාන ප්‍රශ්න මාලාව සැකසෙන්නේ සංඥා තේරුම් ගැනීම සඳහාය. එහිදී, සුදු ඉර මත්තෙන් එහා පැත්තට පාර පැනීම සඳහා සංඥාවක් වෙයි. මෙතැනින් මාරුවෙනු කියන්නේ එහි වචනාර්ථයටය. දැන් අප සියලු දෙනාට සිදුව ඇත්තේ මහ පාරෙන් මාරු වීමටය. නැතහොත් ගාසා තීරයේ ජීවත් වෙන අසරණයෝ සේ, මැරුම් කකා හෝ පාරේ යෑමටය.

සෑම තත්පර 25කට වරක් ලෝක ජනගහණයෙන් අයෙක් ද සෑම පැය 2යි විනාඩි 49කට සැරයක් ශ්‍රී ලංකාවේ අයෙක් ද මහ පාරේ අනතුරු හේතුවෙන් මිය යන්නේය. ජැක්සන් ඇන්තනීගේ මරණය සඳහා ද අවසාන වගකිව යුත්තා ඇත්තේ ද, එතැනය.

අප සියලු දෙනා දැන් කාලයේ සහ වැටුපේ වහල්ලු වී සිටිති. එහි කීකරු බලු කුක්කා වූ විට, පාර යනු බැස්ස ගමන් යා යුතු තැනකි. ඔෆිස් එකේ කැරම් අතක් ද ගසා, පොඩි රස්තියාදුවක් දමා ගෙදරට යන්නට බයිසිකලයට නැඟුණු එකාට, පාරේදී ඇති හදිස්සිය පැය දෙකහමාරට, එක මිනියක් පාරෙන් ලබා දෙන තැන දක්වා පත් කර තිබේ. අර ආකාරයේ හදිස්සියක් දමා ගෙදර ගිය පසු ද ඒ යෝධයා එක්කෝ ෆෝන් එකේ, ෆේස් බුක් බලන්නේය. නැතිනම් සාලය මැද්දේ සිට ඉන්දියාවට ගොස් මැච් එක නරඹන්නේය. මෙය කාල කළමනාකරණය පිළිබඳ වූ ප්‍රශ්නයක් සේම, සමාජය පුදුම ‘බිසී එකක’ සිටීමේ ඛේදවාචකය වේ.

මාර්ග අනතුරු වැඩිවීම සඳහා මෙන්ම මේ වන විට මානසික රෝග වැඩිවීම සඳහා ද බලපා ඇත්තේ මේ අලකලංචි බිසියය. එන කෝල් ටික ආන්සර් කරනවා කියන තැන ඉඳන්, කාර්යාලයක රැකියාවක් කරන සියලු දෙනාට හෙල්ලෙන්නට කාලයක් නැත. ආණ්ඩුවේ කන්තෝරුවක, එකා සිටිය යුතු තැන, දහය දොළහ වැඩ කරන අවස්ථා ඇත. මේ කතා කරන්නේ ඒවා ගැන නොවේ. පොදුවේ අනිකුත් සෑම තැනකම පාහේ, සමහරු දවල්ට කන්නේ ද තුනට හතරටය. ඒකත් භාගෙටය. ඔහොම ජීවිත ගෙවන එකා, පාරට එන්නේ හොඳටම මඤ්ඤං වීය.

මේ මානසිකත්වය තියාගෙන ගෙදර ගිය ද, ඒ සත්ත්වයා සැරිසරන්නේ නිදහසේ නොවේය. ගැහැනු ඉවුම් පිහුම් ආදියේය. පිරිමි ද වැඩය. ඔෆිස් එකෙන් පිටව ආවා වුවද, එහෙම් පිටින්, ඔෆිස් එක ගෙදරය. ඒ තරමට හිරවූ වැඩ හෙයින් නිදාගන්නේ ද දොළහට පමණ. ආයෙත් පාන්දර හතරට නැඟිට, උයා පිහා වැඩට එන්නේය. මාසයේ දවස් 22ක් පමණ කැරකෙන්නේ ඔය චක්‍රය ඇතුළේය.

ඔහොම ජීවිත ඇත්තේ පතල් කර්මාන්තයේය. ඔය මොඩල් එක ඇතුළේ පාරේ ඇක්සිඩන්ට් වුණේ නැත්නම්, කලක් යනකොට හාට් ඇටෑක්, ඩයිබිටික්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ආදී සියල්ල එන්නාහ. ඕකට කියන්නේ ෆුල් ඔප්ෂන් කියාය. නවීන වාහනයක ඇති පහසුකම් දෙස බලා, ඔහොම කියන හෙයින් අද මහ පාර ද ෆුල් ඔප්ෂන් සමඟ බද්ධ වූ ගතියක් තිබේ.

මිනිසා යනු විවේකය අවශ්‍ය පිරිසකි. එහෙව් ශරීර අද දුවන්නේ කිසිදු සර්විස් එකක්, නවත්වාලීමක් නොමැති මැෂින් ලෙසය. මේ ප්‍රශ්නය හේතුවෙන් බිහිව ඇත්තේ හිරිවැටුණු සත්ත්වයෙක් මිස සංවේදී මිනිසෙක් නොවේ. මේ රටේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු බාගෙට බාගයක් රට ගොස් ඇත්තේ, රටේ ඉන්න හැම එකාම හිරි වැටී ඇත්නම්, කාට අප සිහිය නැති කිරීම සඳහා ඉන්ජෙක්ෂන් විදිමු ද යන න්‍යාය අනුව විය යුතුය.

බිසී වෙන එක සඳහා එකවර විසඳුමක් නැත්තේය. ඒත් සමාජය සැහැල්ලු කිරීම සඳහා මේ ගැන සැලකිල්ලක් අවශ්‍යමය. අනතුරු යනු මේ බිසී කතාවේ, අතුරු ඵලයකි. එක් අතුරු ඵලයක් අනතුරු වන විට තව ප්‍රතිඵල ගොඩක් මඟ දිගට අතුරා තිබෙන හෙයින් මේ රටේ ජනතාව සඳහා නිස්කාසුවක් දිය හැකි ක්‍රමයක් දැන් අවශ්‍යය.

අහන අහන එකා මාර බිසීය. රට බංකොලොත්ය. බටහිර රටවල එවුන් ලෝකය වටේ යන්නේය. අතේ සල්ලි ද තිබේ. රටවල් ද මාරය. ලංකාව ඉන්න හිටින්න පුළුවන් රටක් වන්නේ, ඔය බිසී පොල්ල කඩා ගත් වනය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT