Home » ඊශ්‍රා­ය­ලයේ වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කර­න්න

ඊශ්‍රා­ය­ලයේ වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කර­න්න

මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න රජ­යෙන් ඉල්ලයි

by Gayan Abeykoon
October 14, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට මැදිහත්වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙසේද පැවසීය.

“මේ මොහොතේ මුළු ලෝකයේමත් ඒ වගේම රටක් විදිහට අපටත් විශේෂ අවධානයක් තිබෙනවා. මේ ඊශ්‍රායලය සහ ගාසා තීරයේ ඇතිවෙන ඉතාම බරපතළ යුද ගැටුම් තත්ත්වය සම්බන්ධයෙන්. ලාංකිකයන් විදිහට අපට තිබෙන සංවේදි අවධානය තමයි ශ්‍රී ලාංකිකයන් අට දහසකට වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා ඊශ්‍රායලය වෙත ගියා. ආණ්ඩුවක් විදිහට තානාපති සේවාවන් සමඟ පැය 24 පුරාම ඒ සබඳතා ඉතා සජීව ලෙස යාවත්කාලීන ලෙස තබාගනිමින් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට ආණ්ඩුව මැදිහත්ව කටයුතු කරනවා.

ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි විශේෂයෙන් ඉල්ලීමක් කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගකීමක් දරන ඒ තානාපති සේවාවන්ට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු ඒ බලධාරීත්වය දරන ආයතන ව්‍යුහයන්ගෙන් ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්න කියා. වර්තමාන ජනාධිපතිවරයාත් සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය සහිත ආණ්ඩුවක් පිළිබඳ සංකල්පය විවෘතව පාර්ලිමේන්තුවේ කතා කළා. එතුමා පොහොට්ටුව නැති ආණ්ඩුවකට කාටවත් ආරාධනා කළේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා එතුමා අදටත් ඕනෑම පාර්ශ්වයකට ඇවිල්ලා මේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් වෙන්න කියන එක ඈතට ගිහිල්ලා නැහැ තාම.

මට තිබෙන පෞද්ගලික විග්‍රහය තමයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවා අලුත් ආණ්ඩුව හැදෙන වෙලාවේ මම හිතුවා අපේ පාර්ශ්වයයි එතුමාගේ පාර්ශ්වයයි අතර මීට වඩා උණුසුම් තත්ත්වයක් ඇතිවෙයි කියලා. මම මීට වඩා ගැටුම් අපේක්ෂා කළා. ඒ තරම් ප්‍රතිපත්තිමය දුරස්ථභාවයක් තිබෙන දේශපාලන ව්‍යාපාර දෙකක්. ඒ අතින් මම සාපේක්ෂව සතුටු වෙනවා. හිතුව තරම් මේ එකඟතාවන් නරක නැහැ. එයින් අදහස් වෙන්නේ නැහැ අපි ආසම හැමදේම රනිල් වික්‍රමසිංහ මහතා අතින් වෙනවා කියලා. එහෙම වෙන්නෙත් නැහැ. එහෙම වෙයි කියා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රායෝගික පොළොවේ දේශපාලනය කරද්දි එහෙම නොවෙන අවස්ථා තිබෙනවා.

අපෙන් ගිය කණ්ඩායම පහුගිය කාලයේ විපක්ෂයේ දේශපාලනයක් තමයි කළේ. හැබැයි ආණ්ඩුවෙන් ගිහිල්ලා විපක්ෂයේ ඉඳගෙන ඔයිට වඩා ආණ්ඩුවත් සමඟ රණ්ඩුවෙච්ච අය නැවත ආණ්ඩුවට පැමිණි අවස්ථා අපි දැක තිබෙනවා. එනවානම් එන්න කියන අත දිගු කරලා තිබෙන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT