Home » නෙදර්ලන්තය ලකුණු 38කින් දකුණු අප්‍රිකාව පරදවයි

නෙදර්ලන්තය ලකුණු 38කින් දකුණු අප්‍රිකාව පරදවයි

by sachintha
October 18, 2023 1:05 am 0 comment

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙවැනි පෙරැළිය සිදු කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වූයේ දකුණු අප්‍රිකාව ලකුණු 38කින් පරාජය කරමිනි.

මින් පෙර වත්මන් ලෝක ශූරයන්ට එරෙහිව ඇෆ්ගනිස්තානය පෙරැළිකාර ජයක් වාර්තා කළ අතර, තරගාවලියේ 15 වැනි තරගය ලෙස ඊයේ ධර්ම්සාලාහිදී පැවති තරගයේදී නෙදර්ලන්තය මේ ජය වාර්තා කළේය.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී නෙදර්ලන්තය විසින් දකුණු අප්‍රිකාව පරාජය කළ පළමු අවස්ථාව මෙය වන අතර, ඔවුන් මින් පෙර පසුගිය වසරේ විස්සයි20 තරගයකදී දකුණු අප්‍රිකාව පරාජය කර තිබිණි.

වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඕවර 43කට සීමා වූ මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකාවට ඕවර 42.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 207ක් පමණි.

මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ (10) පසු වූ නෙදර්ලන්තය 9 වැනි ස්ථානය දක්වා ඉහළට ගිය අතර, සහභාගි මුල් තරග 3ම පරාජය වූ එකම කණ්ඩායම වන ශ්‍රී ලංකාව අවසන් ස්ථානය දක්වා පහතට වැටිණි.

මේ තරගාවලියේ පිට පිට ශතක 2ක් රැස් කර තිබූ ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 20කට දැවී ගිය අතර, නෙදර්ලන්ත පන්දු යවන්නෝ ආරම්භයේ සිටම කිසිදු පිතිකරු යුගලකට සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට අවස්ථාව නොදුන්හ.

ලකුණු 43ක් රැස් කළ ඩේවිඩ් මිලර් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ඉනිම අග භාගයේ කණ්ඩායම ජයග්‍රහණ කරා ගෙන යෑමට උත්සාහ කළ කේෂව් මහරාජ් පන්දු 37කින් ලකුණු 40ක් රැස් කළේය. පන්දු යැවීමේදී ලෝගන් වෑන් බීක් කඩුලු 3ක් බිඳ දැමූ අතර, රොඑලොෆ් වැන් ඩර් මර්වේ, බස් ඩී ලීඩ් සහ පෝල් වැන් මීකෙරන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 82ක් තුළ බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි නායක ස්කොට් එඩ්වර්ඩ්ස් සටන්කාමී ඉනිමක නිරත වෙමින් කණ්ඩායම ලකුණු 245ක් දක්වා ඉදිරියට රැගෙන ගියේය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඔහු පන්දු 69කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 78ක් රැස් කළ අතර, මුළු ලකුණු 140 සිට ඔහුට අනගි සහායක් දුන් රොඑලොෆ් වැන් ඩර් මර්වේ 8 වැනි කඩුල්ලට පන්දු 37කින් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟීය. පන්දු 19කින් ලකුණු 29ක් රැස් කළ මර්වේ දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 204ක් විය.

9 වැනි කඩුල්ලට නායකයා සමඟ එක් වූ ආර්යන් දත් වේගවත් ලකුණු 23ක් රැස් කළේ පන්දු 9කදී හයේ පහර 3ක් සමඟිනි. එම කඩුල්ලට වාර්තා වූ සබඳතාව පන්දු 19කින් ලකුණු 41කි. පන්දු යැවීමේදී මාර්කෝ ජනේසන්, කගීසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි කඩුලු 2 බැගින් දවා ගත්හ.

නෙදර්ලන්තය – 245/8 (ඕවර 43) ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී 78, රොඑලොෆ් වෑන් ඩර් මර්වේ 29 (මාර්කෝ ජනේසන් 27/2, කගීසෝ රබාඩා 56/2, ලුන්ගි න්ගිඩි 57/2)

දකුණු අප්‍රිකාව – 207 (ඕවර 42.5) ඩේවිඩ් මිලර් 43, කේෂව් මහරාජ් 40, හෙන්රිච් ක්ලාසෙන් 28 (ලෝගන් වෑන් බීක් 60/3, රොඑලොෆ් වැන් ඩර් මර්වේ 34/2, බස් ඩී ලීඩ් 36/2, පෝල් වැන් මීකෙරන් 40/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT