ඕනෑම වෘත්තියකට අතිශය නිර්මාණාත්මක විශිෂ්ටයන් බිහිවන්නේ ඉතාමත් කලාතුරකිනි. ‘දෙවියන් විශිෂ්ටයකු නිර්මාණය කළ පසු එම අච්චුව කඩා බිඳ දමන්නේය’ යැයි පැරණි කියමනක් ඇත. ඔහුගෙන් පසු බොහෝ කාලයක් යන තෙක් එම හිඩැස පිරවිය නොහැකිය යන්න එමඟින් අදහස් වේ. කලා ක්ෂේත්‍රයට ද එහි වෙනසක් නැත. ප්‍රතිභාපූර්ණ කලාකරුවන් අතළොස්සකින් පෝෂණය වූ කලා කෙතෙහි අස්වනු නෙළීමට බොහෝ දෙනා සිටිය හැකිය. අව්‍යාජ කලාකරුවා ඊට හූල්ලන්නේ නැත. හේතුව ඔහුගේ ආත්ම තෘප්තිය වන්නේ ඉඩක් ලද ඕනෑම මොහොතක කුමන කෙනකුට හෝ සෙතක් සැලසීමය. එයින් සෙතක්, ශාන්තියක් අත්පත් කරගන්නේ ගුත්තිලලා ද, මූසිලලා ද යන්න ඔහු සොයා නොබලයි.
ජැක්සන් ඇන්තනී යනු දශක හතරකටත් වැඩි කාලයක් කලාව පෝෂණය කළ ශ්‍රේෂ්ඨ රංගධරයකු යැයි පැවැසීම කිසිසේත් අතිශෝක්තියක් නොවන බව කලාකරුවන් සහ ප්‍රේක්ෂකයන් පිළිගන්නා කාරණයකි. ඔහුගේ කලා කෞශල්‍යය, ප්‍රතිභාපූර්ණත්වය ඉතා ඉහළ මට්ටමක පැවති අතර, බොහෝ කලාකරුවන්ට තරණය කළ නොහැකි වූ ඉතිහාසය, සාහිත්‍ය සහ සමාජ විද්‍යාව වැනි මානයන් සාර්ථක ලෙස ඔහු තරණය කළේය. එම විෂයයන් පිළිබඳ උගතුන්, වියතුන් සහ විශාරදයන් සමඟ සමව හිඳ ඔහුගේ ප්‍රඥාව සහ විඥානය ප්‍රදර්ශනය කිරීමට ඔහුට පෞරුෂයක් තිබුණි. වේදිකාව, රිදී තිරය, පුංචි තිරය ඔහුට අවශ්‍ය පරිදි නතු කරගැනීමට තරම් ප්‍රබල ආකර්ෂණයක් ඔහු සතු විය.
අන් වෘත්තිකයන්ට මෙන්ම ඔහුට ද දේශපාලන බැඳීම් තිබුණි. ඔහු දේශපාලනඥයකු සේ සලකන්නේ නම්, ඒ පිළිබඳව කෙනකුට විවේචනයක් තිබිය හැකිය. එය අහේතුක හිංසනකාරී නිර්දය ප්‍රහාරයක් ලෙස නොවන සාරධර්ම සහ ගුණගරුක පුරවැසියකු ලෙසින් සිදු කිරීමේ වරදක් නැත. සිංහලයන් බුදුන් වහන්සේ පැවත ආ ශාක්‍ය වංශිකයන්ට ලේ ඥාතීත්වයක් ඇතැයි ඔහු කළ ප්‍රකාශය යම් තැනැත්තන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස හෙළා දකිමින් කළ විවේචන අප හෙළා දැකිය යුතුය. ඔහු එම ප්‍රකාශය කළේ ඉතිහාසය පිළිබඳ ගැඹුරු කියැවීමක් ඇතිවයි. එහි ඓතිහාසික පදනම වූයේ මහාවංශයයි. වසර 2500කට වැඩි ඉතිහාසයක් ගෙනහැරපාන මහාවංශය ඉන්දීය ඉතිහාසයේ පවා හිස්තැන් පිරවීමට උපයෝගී කරගෙන ඇත. ඉතිහාසය පිළිබඳ කතා කළ ඔහුගේ කරුණු ඉදිරිපත් කිරීම සහ වාග් විලාසය අනුව ඔහු ඉතිහාසයේ අස්කොන් ඇහිඳගෙන වැරදි මතයක් ගොඩනැඟීම කළ අයකු නොවන බව ද ඉතිහාසය දන්නා අයට පැහැදිලිය. මහාවංශය අනුව විජය රජුගේ ඇවෑමෙන් ඔහුගේ සහෝදරයා වූ සුමිත්ගේ පුත්‍ර කිස්දාන් මල් පඬුවස් කුමරා ලංකාද්වීපයට පැමිණි බවත්, සුද්ධෝදන රජුගේ සහෝදරයකු වූ අමිතෝදන නම් ශාක්‍ය රජුගේ පණ්ඩුශාක්‍ය නම් පුත්‍රයාගේ දියණියක් වූ භද්දකච්ඡායනා ආවාහ විවාහ කර ගන්නා ලදී. පසුව පඬුවස්දෙව් කුමරුන් රාජභිෂේක කළ බවත්, සිංහල රාජධානිය විකාශය වූ වගත් එහි සඳහන්ය.
එම අර්ථයෙන් ගත් කළ සිංහලයන්ට ශාක්‍ය වංශිකයන් සමඟ ලේ ඥාතීත්වයක් ඇති බව මහාවංශය විසින් හෙළිදරව් කරයි. එය ජැක්සන් ඇන්තනී නිර්මාණය කළ ව්‍යාජයක් නොවේ. ඕනෑම කෙනෙකුට මහාවංශයේ අඩංගු දෑ පිළිගැනීමට හෝ නොපිළිගැනීමට අයිතියක් ඇත. එහි සඳහන් ඉතිහාසය වැරදි යැයි පවසමින් නිවැරදි ඉතිහාසය කුමක් ද යන්නට කරුණු ඉදිරිපත් කිරීමට ද කෙනෙකුට අයිතිය ඇත. එහෙත් ජැක්සන් ඇන්තනීට පහර ගැසූවන්ට ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ඇතැයි සිතිය නොහැකිය. ඔහුගේ දේශපාලනික පක්ෂපාතීත්වයට කැමති අය සහ අකමැති අය සිටී. එම කැමැත්ත හෝ අකමැත්ත ඔවුන්ට පෞද්ගලික වූ කාරණා විය යුතුය. එය කලා ක්ෂේත්‍රය විවිධ මානයන්ගෙන් බබළවන්නට මහත් දායකත්වයක් දුන් අද්විතීය රංගධරයකු, කලාකරුවකු, සාහිත්‍යඥයකු සහ ඉතිහාසඥයකු මිය යන්නට මත්තෙන්ම ඝාතනය කිරීමට වෙරදැරීමක් වැනිය. එවැනි විවේචකයන්ගෙන් සමාජයට ඇත්තේ කුමන ඵලයක් දැයි යන්න විමසිය යුතුය.
ඔහු රෝගාතුරව දීර්ඝ කාලයක් රෝහල්ගතව සිටි කාලයේ ඔහු සම්බන්ධව සිදු කළ ප්‍රචාර අතිශය ලෙස සාහසිකය. ඔහු මිය ගිය පසුව පවා එම අවලාදවල අවසනක් නොතිබුණි.
ඔහුට එරෙහිව ඉදිරිපත් වූ දුෂ්ට බලවේග ඉදිරියේ ඔහු ජීවත්ව සිටියදී සාධාරණයක් ඉටු නොවුණත් ඔහුගේ අවසන් කටයුතු සිදු කළ අවස්ථාවේදී හෝ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉදිරිපත්වී ජැක්සන්ට සාධාරණයක් කිරීමට ගත් උත්සාහය අගය කළ යුතුය. දක්ෂ කලාකරුවකු බිහි වන විට ඒ ප්‍රමාණයෙන්ම ඔහුට අභියෝගවලට ද මුහුණ දීමට සිදු වන බව නොරහසකි. ගාමිණී ෆොන්සේකා නම් සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයා ‘පරසතු මල්’ චිත්‍රපටයේ කළ රංගනය සම්බන්ධයෙන් එවකට ප්‍රකට විචාරකයකු සඳහන් කර තිබුණේ එම සිනමා පටයේ නිළියන් තිදෙනෙකු රඟපෑ බවයි. එනම් පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක සහ ගාමිණී ෆොන්සේකා යනුවෙනි. එවැනි විවේචන ඉදිරිපත් කිරීම තුළ ගාමිණී ෆොන්සේකා අවබෝධ කරගන්නා ලද්දේ ඔහුගේ විශිෂ්ට රංගනය බව නොවූයේ නම් ඔහුට ද එම ක්ෂේත්‍රයේ දුර ගමනක් නොමැති වීමට ඉඩ තිබුණි. ජැක්සන් ඇන්තනී හුදු නළුවෙක් පමණත් නොව කලාව සහ ලෝකය පිළිබඳ මනා අවබෝධයක් ලත් සැබෑ කලාකරුවෙකි. ඔහුට බොහෝ ආගමික ඉගැන්වීම් පිළිබඳ මනා අවබෝධයක් ද තිබුණි. ඔහු කිසිසේත් මිථ්‍යා දෘෂ්ටිකයකු ද නොවීය. ඔහු උපන් රට ගැන මෙන්ම ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කතා කළේ මහත් ආඩම්බරයෙනි. ජාතියක් ජම්මයක් නොදන්නාවුන් කරන්නා සේ තම මවුබිම හෙළා දකිමින් එය අවතක්සේරු නොකළේය. ඔහු නිරන්තරයෙන්ම ජනතාව අමතන ලද්දේ ඉතා ප්‍රසන්න සිනහවකින් මුව සරසා ගෙන “ආවඩා ආයුබෝ වේවායි”පවසමිනි.
2017 මැයි මස එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර, එහි අවසාන සැමරුම නේපාල ජනාධිපති බිද්‍යාදේවි බන්දාරි මැතිනියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දළදා මාලිගාවේ මහ මළුවේදී පැවැත්විණි. ඒ වෙනුවෙන් විදේශ නියෝජිත පිරිස සඳහා පැය කිහිපයක දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නට නියමිතව තිබියදී ඡැක්සන් මාගෙන් ඉල්ලා සිටියේ ජීවිතයේ එක් වතාවක් හෝ දළදා වහන්සේ දෑසින් දැක බලා වන්දනා කිරීමට ඔහුට අවස්ථාවක් උදා කර දෙන ලෙසයි. ඒ අනුව එම ප්‍රදර්ශනයේ දී ඔහු ඉල්ලා සිටි පරිදි දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී. ඉන්පසුව ඔහු මට හමු වූ සෑම අවස්ථාවකදීම ඉතා සතුටින් සහ ජයග්‍රාහී ලීලාවකින් පැවැසුවේ එම අවස්ථාව ඔහුගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් බවත්, එම උදව්ව ඔහු ජීවත්ව සිටින තාක් අමතක නොවන බවත්ය. එයින් පැහැදිලි වන්නේ ජැක්සන් යනු නිකම්ම නළුවකු නොව සැබෑ මානව හිතවාදියකු බවයි. ඔහු ඉතා සරල ගති පැවතුම් තිබු එහෙත් ජීවිතයේ සහ කලාවේ ගැඹුරු තැන් ස්පර්ශ කළ අයෙකි. ඔහු සම්බන්ධව සිදු කළ අවිචාරවත් විවේචන හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇති වූ චිත්ත පීඩා සම්බන්ධයෙන් නම් ඔහු මිය යන අවස්ථාවේදී ද මානසික වේදනාවට පත්ව සිටින්නට ඇතැයි සිතිය හැකිය. ඔබ කලාකරුවකු ලෙසට සලකා ආදරය කළ ඔබගේ රසිකයන් ඔබ වෙත යම් දුෂ්ට බලවේග එල්ල කළ විවේචන පිළිබඳව කම්පා වෙති.
අයර්ලන්ත දාර්ශනිකයකු වූ ජොනතන් ස්විප්ට් පවසන ලද්දේ “ලොවට ශ්‍රේෂ්ඨයකු බිහි වූ විට ඔබට එය හඳුනාගත හැකි සලකුණක් ඇත. එනම් මොට්ටයන් බොහෝ දෙනෙක් එක්රැස් වී ඔහුට එරෙහිව සන්ධානයක් ගොඩනඟා ගැනීමයි.” යනුවෙනි.
ආචාර්ය
විජයදාස රාජපක්ෂ