යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ සිසුන් විසින් ඉදි කරන ලද මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය නීති විරෝධී ඉදි කිරීමක් බවට තීරණය වී තිබේ.
ඒ අනුව එම ස්මාරකය ඉදි කෙරෙනතුරු නිහඬව සිටි විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ කිහිපදෙනකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම මඟින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර යාපනය විශ්වවිද්‍යාලයේ කීපදෙනකුගෙන්ම මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ද ලබාගෙන තිබේ.
2021 වසරේ ජනවාරි මාසයේදී යාපනය විශ්වවිද්‍යාලය තුළ මෙම යුද ස්මාරකය ඉදි කිරීම ආරම්භ කළ අවස්ථාවේදී එහි උපකුලපතිවරයා විසින් එම ස්මාරකය ඩෝසරයක් යොදා කඩා ඉවත් කළ අතර ඉන් කිපුණු සිසුන් හා යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ කීපදෙනෙක් යාපනය විශ්වවිද්‍යාලය තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළහ.
සිසුන් සිය පන්ති වර්ජනය කරමින් විශ්වවිද්‍යාලය ඉදිරිපිටට එක් වී කෑකෝ ගසමින් කථිකාචාර්යවරුන් පිරිසක් විශ්වවිද්‍යාල භූමියට කොටු කොට ගේට්ටු වසා දමා විශාල විරෝධතාවක් දින කීපයක් මුළුල්ලේම කරගෙන යනු ලැබීය.
මේ සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත තොරතුරු වාර්තා කිරීමෙන් පසුව එහි නිලධාරීහු ද ප්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයට පැමිණියහ.
නමුත් ප්‍රශ්නය නොවිසඳුණු තැන අවසානයේදී දැඩි බලපෑම මත සිසුන්ට ස්මාරකය ඉදි කර ගැනීමට ඉඩ දී උපකුලපතිවරයාට නිහඬව සිටීමට සිදු වූ අතර මේ සම්බන්ධයෙන් කීපදෙනකු විසින් ආයතන කීපයකට පෙත්සම් යැවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ස්මාරකය ඉදි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කෙරිණ.
මේ පිළිබඳ කළ සොයා බැලීමකදී හෙළි වූයේ යාපනය විශ්වවිද්‍යාලයට අලුතින් උපකුලපතිවරයකු තෝරා පත්කර ගැනීමට ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ නිර්දේශයක් මත කලින් හිටපු උපකුලපතිවරයාම පත් වීම නුරුස්සන ලද යාපනය විශ්වවිද්‍යාලයේම පිරිසක් යුද ස්මාරකය ඉදි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පෙත්සම් යොමු කොට ඇති බවකි.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ