Home » රට ගිය අවුරුදු 10ටම අම්මා ළඟ හිටියේ දවස් 90යි – ඒ නිසා මිනියට කරගහන්නම ඕනෑ

රට ගිය අවුරුදු 10ටම අම්මා ළඟ හිටියේ දවස් 90යි – ඒ නිසා මිනියට කරගහන්නම ඕනෑ

-අනුලාගේ දුව තානාපතිට ලියයි

by sachintha
October 19, 2023 12:54 am 0 comment

අනුලා ජයතිලක මහත්මිය මිය යෑමට පෙර ඇගේ දියණිය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වෙත පණිවිඩයක් යොමු කරමින්,

“සර් මම අනුලාගේ දුව. මේ වීඩියෝ එක මම සර්ට එව්වේ අම්මගේ මූණ තවත් මේකේ පැහැදිලිව තියෙන නිසා. මගේ හිත කියන්නෙම අම්මා ඉන්නවා කියලා. අම්මා ගොඩක් පින් කරපු කෙනෙක්. අම්මට ඔහොම මරණයක් උරුමයි කියලා මම හිතන්නේ නැහැ සර්. අම්මා රට යද්දි මට අවුරුදු 16යි සර්. මගේ ජීවිතේ අවුරුදු 10කටම මම අම්මා එක්ක ළඟින් හිටියේ දවස් 90යි. අම්මා මේ සිද්ධිය වෙන්න කලින් දවසේ රෑ කිව්වා සුදු අම්මා ඔයාට ඕන දේකට මම ඉන්නවා කියලා. අම්මට තිබුණු ලොකු ආසාවක් ලස්සනට මගේ වෙඩින් එක ගන්න. මම විභාග වුණත් පාස් වෙන්නේ අම්මා වෙනුවෙන් සර්. මම පාඩම් කරන්න පොඩ්ඩක්වත් කැමැති කෙනෙක් නෙවෙයි. අම්මා වෙනුවෙන් ඒ ඔක්කොම කළේ සර්. අම්මව පැහැරගෙන ගිහින් ඉඳලා හමුවුණොත් කියන්න සර් මම අම්මා එනකල් බලා ඉන්නවා කියලා. අම්මා නැති වෙලා නම් ඒකත් මට කියන්න සර්. අම්මාව එවන්න මෙහෙට. අම්මගේ අවසන් කටයුතු කරන්න ඕන හොඳට. අම්මගේ මිනී පෙට්ටියට මට කර ගහන්න ඕන.‘‘ දියණිය පවසා සිටියාය.

ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ මළසිරුර බොහෝවිට අද (19) දිනයේ දී තානාපති කාර්යාලයට බාරදෙනු ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ‘දිනමිණ‘ ට පැවසීය.

කෙසේ වුවද පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට විදෙස් රටවල් 36කට අයත් පුද්ගලයන් 350 දෙනකු පමණ මියගොස් තිබෙන බව සඳහන් කළ නිමල් බණ්ඩාර මහතා එම මළසිරුරු රටවල් අනුව වර්ගීකරණය කරන බවද මේ හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවගේ මළසිරුර ලැබීම ප්‍රමාද වියහැකි බවද පෙන්වා දුන්නේය.

ඊශ්‍රායලය හා පලස්තීනයේ හමාස් සංවිධානය අතර ගැටුම්වලට මැදි වී ජීවිතක්ෂයට පත් වූ සාත්තු සේවිකාවක ලෙස සේවය කළ අනුලා ජයතිලක මහත්මියට ඊශ්‍රායල ජාතිකයකුට හිමිවිය යුතු උපරිම වන්දි මුදල ලබා දීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ ලියාපදිංචිව එරට නීත්‍යනුකූලව වලංගු වීසා බලපත්‍රයක් සහිතව සිටි අනුලා ජයතිලක මහත්මියට කාර්යාංශයේ රක්ෂණාවරණය හා ඊශ්‍රායල් ජාතිකයකුට සමාන සියලු වන්දි එරටින් ලැබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා පැවැසීය.

මහින්ද අලුත්ගෙදර, කැලණිය කුසුම් හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT