Home » ගොවීන්ට අද සිට බඩඉරිඟු බීජ නොමිලයේ

ගොවීන්ට අද සිට බඩඉරිඟු බීජ නොමිලයේ

by chanaka
October 20, 2023 10:29 am 0 comment

කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව ව්‍යාපෘතිය යටතේ මහ කන්නයේ අක්කර 40,000කට බඩඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම අද(20) සිට ඇරඹේ.

මෙවර මහ කන්නයේ දී දිවයිනේ දිස්ත්‍රික්ක තුනක බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහනට (SAPP) උපදෙස් දී තිබිනි.

ඒ අනුව හම්බන්තොට, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්ක තුනෙහි අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය දෙමුහුන් බඩඉරිඟු බීජ නොමිලයේ ලබා දීම අද සිට ආරම්භ කෙරේ.

ඒ යටතේ අද දින පෙරවරුවේ අගුණකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් බඩඉරිඟු බීජ බෙදා දීම සිදු කෙරේ.

පසුගිය වර්ෂයේ සත්වාහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු නොමැතිකම නිසා මස්, බිත්තර හා කිරි නිෂ්පාදනය අඩාල වූ අතරම එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ ගියේය. මේ නිසා ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීමට ද රජයට සිදුවිය.සත්ව ආහාර හිඟය නිසා සත්ව නිෂ්පාදන ගොවිපොළ රැසක් වැසී ගියේය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බඩඉරිඟු වගාව පුළුල් කිරීමට තීරණය කරනු ලැබීය.මෙවර මහ කන්නයේ දී මෙම ව්‍යාපෘතිය යටතේ පමණක් අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම ඒ අනුව සැළසුම් කරනු ලැබීය.

ඒ අනුව IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල විසින් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 360ක වියදමින් තායිලන්තයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ දෙමුහුම් බඩඉරිඟු විහේෂයක් වන පැසිපික් ප්‍රභේදය ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 800ක් මේ වනවිට ඇණවුම් කර ඇති අතර එම යුරියා පොහොර ද බඩඉරිඟු වගා කරන ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැළසුම් කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 10,000කට හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 14,000කට ඉදිරි දින කිහිපය තුළ බඩඉරිඟු බීජ ලබා දීම සිදු කරන බව SAPP ව්‍යාපෘතිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT