Home » ආචාර්ය බුද්ධි කීර්තිසේන දැයට සමු දෙයි

ආචාර්ය බුද්ධි කීර්තිසේන දැයට සමු දෙයි

බුද්ධි නව අදහස්වලින් සිංහල සිනමාවට සුවිශේෂී මෙහෙවරක් කළා

by gayan
October 23, 2023 1:00 am 0 comment

මිහිර විජේසේකර - පුත්තලම

 ප්‍රවීණ සිනමා නළු කමල් අද්දරආරච්චි

ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති අභාවප්‍රාප්ත ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතාගේ අවසන් කටයුතු ඊයේ (22) සවස කොස්වාඩිය පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

කලාකරුවන්, දේශපාලනඥයන්, හිතවතුන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.

ඒ මහතාගේ අවමඟුල් උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවිඩය ප්‍රකාශයට පත් කිරීම ද සිදු විය.

මිය යන විට 83 වන වියේ පසු වූ බුද්ධි කීර්තිසේන මහතා සුජාතා චිත්‍රපටයෙන් චිත්‍රපට නිෂ්පාදනයට පිවිස යසෝමා,මිල්ල සොයා, නිම්නයක හුදකලාව යන චිත්‍රපටි නිෂ්පාදනය කළ අතර, වසර ගණනාවක් පුවත්පත් කලාවේදියකු වශයෙන් ද කටයුතු කර තිබේ. රණසිරි කීර්තිසේන යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ බුද්ධි කීර්තිසේන මහතා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන සහ බතික් ව්‍යාපාර කටයුතුවල නියැළෙන දර්ශි කීර්තිසේනගේ ආදරණීය පියාණන්ය.

අවමඟුල් උත්සවයේදී අදහස් දක්වමින් ප්‍රවීණ සිනමා ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙලෙස පැවසීය.

“බුද්ධි කීර්තිසේන මහතා නව අදහස්වලින් සිංහල සිනමාවට සුවිශේෂී අංග රැසක් එක් කර ප්‍රථම වරට මෙරට සිනමා කර්මාන්තයට සුවිශේෂී මෙහෙවරක් කළා. කීර්තිසේන මහතා පුවත්පත් කලාවට සම්බන්ධ වෙමින් 1960 සිට 1970 දක්වා උප කර්තෘවරයෙක්, කර්තෘවරයෙක් වශයෙන් කටයුතු කරමින් ඇත්ත පුවත්පතින් පුවත්පත් කලාවට ඔහුගේ දායකත්වය දුන්නා. ඒ කාලයේ චිත්‍රපට විචාර කරන්න පටන් ගත්තා. මං හිතන්නේ ඔහු සිනමාවට සම්බන්ධ වෙන්න මේ කාරණය විශාල පිටිවහලක් වුණා කියලා. මේ අතර ඔහුගේ කලාත්මක චින්තනයෙන් පේෂ කර්මාන්තය සම්බන්ධව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් පාඨමාලාවක් හැදෑරුවා. මෙමඟින් බතික් කලාව මුළුමහත් ලෝකයම ශ්‍රී ලංකාව වෙත යොමු කර ගන්නට ඔහු ශක්තියක් ගොඩනැඟුවා. මේ සුවිශේෂි කලාකරුවා බතික් කලාව ලෝකයේ කොතරම් ප්‍රචලිත කළාද කීවොත් යුරෝපය, අමෙරිකාව ඇතුළු විශාල රටවල් ගණනාවක් ඊට අයත් වුණා. ඒ කර්මාන්තය ගොඩනැඟුවේ ඔහුගේ ගමේමයි. ඒ කියන්නේ කොස්වාඩියෙ. සිය උපන් ගම ඇතුළු අවට ගම්මාන රාශියක විශාල පිරිසකට රැකියා අවස්ථා දීමට ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ඒ අය කිසියම් ඉල්ලීම්ක් කළොත් එයට ඇහුම්කන් දෙන සංවේදී හදවතක් ඔහුට තිබුණා. මම වසර හතළිහක් පුරා නිරන්තරයෙන් කීර්තිසේන පවුල සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා.

මං හිතන්නේ මේ සුන්දර කලාකරුවාගේ හිදැස පුරවන්න අද ඔහුගේ පුත් බූඩි කීර්තිසේන කටයුතු කර තිබෙනවා. ඔහු සිනමා ක්ෂේත්‍රයේ නව මංපෙත් සොයා යන කලාකරුවෙක්. මේ වගේ දැවැන්ත පුද්ගලයකු ඉතාමත් සරල ජීවිතයක් ගත කරමින් මිනිසුන් සමඟ ඉතාමත් හොඳින් සම්බන්ධවී යථාර්ථවාදීව ගෙවූ ජීවිතය නිසා බුද්ධි අය්යා නැවතත් අප අතරම ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

අධිකරණ ලේඛකාධිකාරි, පුත්තලම දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කැබැල්ලෑවල රතන මහ පිරිවෙන් විහාරාධිපති, ජාතික නාමල් උයන මහා විහාරාධිපති හාල්පන්විල පාලිත නාහිමි

“විවිධ ක්ෂේත්‍ර හා බැඳුණු සිදුවීම් හේතුකොට ගෙන ගමෙන් බැහැරව ජීවත් වුවත් බුද්ධි කීර්තිසේන මහතා තමන්ගෙන් සිදු වෙන්නට අවශ්‍ය කරන යුතුකම් නොපිරිහෙළා ඉටු කරමින් ගමේ ජනතාව සමඟ අවසන් මොහොත දක්වා ජීවත්වීම එතුමාගේ සුවිශේෂී ලක්ෂණයක්. සිනමාවට සුවිශේෂී මෙහෙවරක් කළා. ජන්මලාභය ලැබූ ගමට මෙන්ම අවට ගම්මානවල පොදු කටයුතුවලට සම්බන්ධ වෙමින් විශාල වැඩ කොටසක් සිදු කළා. විහාරස්ථාන ගොඩනැඟුවා. පන්සල්වල, පාසල්වල යටිතල පහසුකම් සපුරාලීමට කටයුතු කළා. නිවාස හදලා දුන්නා. ඒ වගේම පෙර පාසල් හැදුවා. මෙවැනි විශාල සේවයක් මේ ගම් ප්‍රදේශයට සිද්ධ කළා. සිනමාවට කළ මෙහෙවර වගේම බතික් කලාව මේ ගම්මානවල ප්‍රචලිත කළා. මුළු ලෝකයටම අපේකම රැගෙන ගිය මේ සුවිශේෂි චරිතය අප හදවත් තුළින් කිසිදා ගිලිහී නොයන බව කිව යුතුයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT