රොකට් ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායල භූමියට කඩා වැදුණු හමාස් සංවිධානය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු දින 14කට පසු පෙරේදා නිදහස් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හමාස් සංවිධානය වෙතින් එසේ නිදහස ලැබුවේ අමෙරිකානු ජාතික මවක සහ දියණියක බව ද වැඩිදුරටත් වාර්තා වේ. 59 හැවිරිදි ජුඩිත් සහ ඇගේ 17 හැවිරිදි දියණිය නටැලි රානන් නිදහස් කරනු ලැබුවේ මානුෂීය හේතූන් නිසා බව නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිය පුරවැසියන් දෙදෙනකු නිදහස් කිරීම සම්බන්ධව තමා අතිශය ප්‍රීතියට පත්වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති අතර, දුරකතනය ඔස්සේ ඔවුන් අමතා දුක සැප විමසූ බවද සඳහන් වේ.
පසුගිය සිකුරාදා පස්වරුවේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ සාමාජිකයන් සමඟ බ්‍රිගේඩියර් ජෙනරාල් ගැල් හිර්ෂ් පලස්තීන දේශසීමාවේදී හමාස් සංවිධානයේ සාමාජිකයන් වෙතින් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා බාරගත් බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබේ. අනතුරුව ඔවුන් ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් වෙත රැගෙන ගොස් ඇති අතර, එහි රැඳී සිටි පවුලේ සාමාජිකයන් වෙත භාර දී ඇතැයි ද වාර්තා වේ.