Home » නයිටා දරුවන්ට මඟ පෙන්වන ව්‍යාපාරික ප්‍රජාව ඇගැයීමකට ලක් වෙලා නෑ

නයිටා දරුවන්ට මඟ පෙන්වන ව්‍යාපාරික ප්‍රජාව ඇගැයීමකට ලක් වෙලා නෑ

නයිටා සභාපති රුචිර අමරසේකර

by gayan
October 23, 2023 1:00 am 0 comment

කටුගස්තොට සමූහ - එස්.ජී. විජේරත්න

නයිටා ආයතනයෙන් බිහිවෙන දරු පරපුර නිසි තැනකට ගෙන එන්නේ ව්‍යාපාරික ප්‍රජාව බවත් ව්‍යාපාරික ප්‍රජාව රටේ ආර්ථිකයට වගේම රටේ ඉදිරි ගමනට ද විශාල දායකත්වයක් ලබා දුන්නත් ඔවුන් නිසි ගෞරවයකට ඇගැයීමකට පාත්‍ර වෙලා නැති බවත් ඒ ගැන කනගාටු වන බවත් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) සභාපති රුචිර අමරසේකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර ස්වීස් සංචාරක හෝටලයේදී නයිටා ආයතනය මඟින් සංවිධානය කළ මහනුවර දිස්ත්‍රික් සේවායෝජක සම්මන්ත්‍රණය අමතමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ සභාපතිවරයා මෙසේ ද පැවසීය.

Òඔබ සැම ඇගැයීමට ලක් කිරීමේ මුල් පියවර ලෙස අද අප පටන් ගත්තා මහනුවර දිස්ත්‍රික්කයෙන්. ඔබතුමන්ලා සියලු දෙනාම දන්නවා සාමාන්‍ය පෙළ විභාගයෙන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් උසස් පෙළ කරන්න බැරිව අසමත් වෙනවා. ඒ වගේම උසස් පෙළ කරන දරුවන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට යන්න බැරිව 96,000ක් ඉන්නවා. උසස් පෙළ කරලා වැඩ තුනක්වත් නැති දරුවෝ 26,000ක් පමණ ඉන්නවා. අපි තවදුරටත් සාමාන්‍ය පෙළින් ඉගෙනීම අවසන් කරන දරුවන් ත්‍රිරෝද රථයකට ගොඩ වීම වළක්වන්න වැඩපිළිවෙළක් සැකසිය යුතු කාලය උදා වෙලා තිබෙනවා. රටේ ආර්ථික වැඩපිළිවෙළ වගේම ආර්ථිකය භාරගන්න ඉන්න දරු පරපුර නොයකුත් වැරදි ඇබ්බැහිවීම්වලට යොමු වෙලා තියෙන්නේ. සා/පෙළ අසමත් දරුවෝ නිතරම සමාජයේ කොන් වෙනවා. මවුපියෝ හැටියට මේ ගැන සූක්ෂ්ම අයුරින් හැදැරීමක් කරලා දරුවා නිසි මඟට යොමු කරන්න ඕනෑ. ඒකට තමයි නයිටා ආයතනය තියෙන්නේ.

මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්න ව්‍යාපාරික ප්‍රජාව තුළින් අපිට විශාල සහායක් ලැබෙනවා. සා/පළෙ අසමත් වෙන ලක්ෂ දෙකවත් බලා ගන්න අපිට හැකියාව තිබෙන්න ඕනෑ. මේ අය බලා ගන්න නම් විශාල වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි ඔබලාගේ කර්මාන්තවලින් ලැබෙන ප්‍රායෝගික පුහුණුව හරහා එවැනි දරුවෝ වැඩි පිරිසක් ඉදිරියට දාන්න බලාපොරෙත්තු වෙනවා. සා/පෙළ අසමත්ව එළියට එන දරුවා එයා උසස් පෙළ හැදෑරිය යුතු කාලසීමාව තුළ යම්කිසි රැකියාවකට පුහුණු කිරීම තමයි අප කරගෙන යන්නේ. ඒ සඳහා අපට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ග්‍රාම නිලධාරි කාර්යාලවලින් විශාල දායකත්වයක් ලැබෙනවා දරුවන් අප වෙත යොමු කිරීම මඟින්. සමහර සේවා ස්ථානවල ඉන්න සේවකයන්ට පළපුරුද්ද තිබුණට වෘත්තිය පිළිබඳ සහතිකයක් නැහැ. එවැනි අයටත් අපි සහතිකයක් ලබා දෙනවා. ගමේ වඩු බාසුන්නැහෙට මේසන් බසුන්නැහෙට වෑද්දුම්කරුවාට දැනුම තිබුණට වෘත්තිය පිළිබඳ සහතිකයක් නැහැ. ඒක නැතිකම විදේශ රැකියාවකට යන්න බාධාවක් වෙනවා. එම නිසා අපි ඒ අයටත් සහතිකයක් දීමට කටයුතු කරනවා.

විදේශ රටවල සිටින සහෝදර සේවක පිරිසට එම රටවලට ගොස් තානාපති කාර්යාල හරහා ඒ අයගේ වෘත්තීය දැනුම පරීක්ෂාකර nvQ 3 හෝ 4 සහතික ලබා දෙන්නත් කටයුතු කරනවා.Ó

මේ අවස්ථාවට සහභාගි වූ නයිටා ආයතනයේ පුහුණුව ලබන සිසු සිසුවියන්හට ප්‍රායෝගික පුහුණුව ලබාදෙන මහනුවර දිස්ත්‍රික්කයේ සේවායෝජකයන් හට තිළිණ හා සහතිකපත් ප්‍රදානය කෙරිණි.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.කේ.යූ. ජයරත්න, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එන්. වීරසූරිය, නයිටා ආයතනයේ උප සභාපති එස්.එච්. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT