දේශීය වෛද්‍යවරුන් අගය කිරීම සඳහා පසුගියදා පැවති වෙදැදුරු අභිමන් 2023 ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උලෙළේදී ආයුර්වේද වෛද්‍ය කැඩුම් බිඳුම් විශේෂඥ එන්.බී.ඒ. සරත් ජයසිංහ මහතාට (කත්තොට කැඩුම් බිඳුම් වෙද මහතා) විශේෂ ගෞරව (වෛද්‍ය ජෝති) සම්මානයක් හිමි විය.
මෙම සම්මාන ප්‍රණාම උලෙළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අතර දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති, නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.
මේ සම්මාන උලෙළේදී විශේෂ ගෞරව සම්මාන පිරිනැමූ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් අතුරින් තෙවැනි තැන ආයුර්වේද වෛද්‍ය සරත් ජයසිංහ මහතාට හිමි වූ අතර ඒ වෙනුවෙන් මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි. සරත් ජයසිංහ මහතා ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ වෛද්‍යවරයකු වන අතර එම ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැනුමක් හා අත්දැකීම් සම්භාරයක් ද ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකි.
මුදලට සීමා නොවී තම කාලය, ධනය, ශ්‍රමය වැය කරමින් රෝගීන් සුවපත් කරන ඍෂිවරුන් වන දේශීය වෛද්‍යවරුන් අගයමින් දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීම මෙමඟින් අපේක්ෂා කරයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන, සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි, වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.