Home » ස්මාට් රටක් හදන්න ජනපති පෙරමුණ ගනී

ස්මාට් රටක් හදන්න ජනපති පෙරමුණ ගනී

පළමුව එජාපය ස්මාට් කරනවා

by gayan
October 23, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ
  • මා අයින් වෙයි කියලා මගේ ගේ ගිනි තැබුවා එක්සත් ජාතික පාක්ෂිකයන් එහෙම දාලා යන්නේ නැහැ

එජාප විශේෂ සම්මේලනයේදී ජනපති කියයි

ශ්‍රී ලංකාව ස්මාට් රටක් ලෙස ගොඩනඟමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ස්මාට් රටක් බිහි කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂය ස්මාර්ට් පක්ෂයක් බවට පත් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ආ බව කී ජනාධිපතිවරයා දූෂණය පිටුදැක ස්මාට් රටක් ගොඩනැඟීමට සහාය වන්නැයි අනෙකුත් පක්ෂවලින් ඉල්ලා සිටින බවද සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා (21) පස්වරුවේ පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමිනි.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේ­ල­නය පක්ෂයේ නායක ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී පෙරේදා (21) පැවැ­ත්විණි. පක්ෂයේ නිල­ධා­රීන් ඇතුළු අති විශාල පිරි­සක් සම්මේ­ල­න­යට එක්ව සිටි­යහ.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේ­ල­නය පක්ෂයේ නායක ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී පෙරේදා (21) පැවැ­ත්විණි. පක්ෂයේ නිල­ධා­රීන් ඇතුළු අති විශාල පිරි­සක් සම්මේ­ල­න­යට එක්ව සිටි­යහ.

‘ස්මාට් රටක් – ජය ගනිමු 2048’ තේමාව යටතේ සංවිධානය කර තිබූ මේ සම්මේලනයේදී එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට ඉදිරිපත් කළ පක්ෂයේ නව සංශෝධිත ව්‍යවස්ථාව ඒකමතිකව සම්මත විය. ‘ස්මාට් රට ගොඩනැඟීම මගෙන් පටන් ගනිමු’ යන්න සංකේතවත් කරමින් එළිදැක්වුණු ලාංඡනය මෙහිදී ඇමැති මනූෂ නානායක්කාර මහතා ජනාධිපතිවරයාට පැලඳවීය. එජාප නිල පුවත්පත වූ ‘සිය රට’ පුවත්පතේ පැරණි කලාපයක් එහි නිර්මාතෘ මායා කළුබෝවිල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අතර, ජනාධිපතිවරයා එය පක්ෂ මහලේකම්ට භාර දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“අද අප පවත්වන මේ විශේෂ සම්මේලනයේ පළමු කාර්යය ලෙස පක්ෂයේ අලුත් ව්‍යවස්ථාව ඉදිරිපත් කර, ඊට අනුමැතිය ගැනීම සිදු වනවා. මේ අලුත් ව්‍යවස්ථාව අප ඇති කළේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් බව කිව යුතුයි. මේ සංශෝධනයෙන් පළමුව එක්සත් ජාතික පක්ෂයට මාර්ගගත (Online) සංවිධාන ඇති කිරීමට ඉඩ දී තිබෙනවා. ඒ අනුව පක්ෂයේ අනුමැතිය ගෙන තමන්ගේම සමාජ මාධ්‍ය මඟින් කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. අප 1977දී පක්ෂයේ කටයුතු කරද්දී රූපවාහිනිය තිබුණේ නැහැ. එක ගුවන්විදුලි නාළිකාවක් තිබුණා. අප ගෙයින් ගෙට ගියා. ඒ කටයුතු කරගෙන යන්න සාමාජිකයන් ලක්ෂ 5ක් 10ක් අවශ්‍ය වුණා. අද ඊට වඩා සම්පුර්ණයෙන් වෙනස් තත්ත්වයක් තිබෙන්නේ. අද අප ගමන් කරන්නේ ඩිජිටල් ආර්ථිකයක් වෙත. පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ පක්ෂය ඩිජිටල්කරණය කිරීම සඳහායි. ස්මාර්ට් රටට ප්‍රථමයෙන් ස්මාර්ට් පක්ෂයක් සෑදීම අපේ අරමුණයි. ඒ අභියෝගය භාර ගැනීමට ඔබ සූදානම් විය යුතුයි. ඒ වෙනුවෙන් තමන්ගේ යෝජනා සහ අදහස් පක්ෂ මහලේකම් වෙත භාර දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

“සාම්ප්‍රදායික ඡන්ද කොට්ඨාස දෙකක් එකතු කර ඩිජිටල් ශාඛාවක් පවත්වාගෙන යන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක වුණොත් අපට මාස 6කින් ඩිජිටල් පක්ෂයක් ඇති කළ හැකියි. සාම්ප්‍රදායික ශාඛා හා සාම්ප්‍රදායික බල මණ්ඩල තමන්ගේ ඩිජිටල් සංවිධාන රැස් කර ගත් පසු ජාතික මට්ටමින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු. මේ අනුව සිරිකොත මන්දිරය ඩිජිටල් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපට පුළුවන් වෙයි කියා මා විශ්වාස කරනවා. ඉදිරි පක්ෂ සම්මේලනයට සහභාගි වන පිරිස අප සීමා කරනවා. අමෙරිකාවේ, එංගලන්තයේ වගේම මේ සම්මේලනයත් දිනකින් අවසන් වන්නේ නැහැ. අපට අනුරාධපුර, කතරගම වගේ ප්‍රදේශයක දින තුන හතරක් මේ සම්මේලනය පැවැත්විය හැකියි.

“කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තිබූ ප්‍රධාන බලතල අප විධායක සභාවට දී තිබෙනවා. නායකයා පත් කරන්නේ විධායක සභාව මඟින්. ප්‍රධාන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනු ලබන්නේ විධායක සභාවෙන්. විධායක සභාව මාස 3කට වරක් රැස් වනවා. ඒත් ඩිජිටල්කරණය නිසා සති 6කට වරක් හෝ සාකච්ඡා කළ හැකියි. අපේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට තිබෙන්නේ විධායක සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීමටයි. 300ක 400ක විධායක සභාවක් තිබෙන විට විශාල කෘත්‍යාධිකාරි මණ්ඩලයක් අවශ්‍ය නැහැ. පක්ෂය සෑම විටම දේශපාලනය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා දේශපාලන උපායමාර්ග සකස් කිරීමට උත්තරීතර මණ්ඩලයක් තිබෙනවා. අපේ ප්‍රධාන සංශෝධන මේවායි. මේ සංශෝධන මඟින් විප්ලවයක් සිදු වෙමින් ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් පක්ෂය බිහි වනවා. අද ඉදිරිපත් කළ මේ යෝජනාවට විරුද්ධ කවුරු හරි සිටිනවා නම් එය ප්‍රකාශ කළ හැකියි. නිහඬතාවෙන් පෙනී යන්නේ කිසිවකු ඊට විරුද්ධ නොවන බවයි. එසේ නම් ඔබ සියලු දෙනා එකඟතාවෙන් මේ යෝජනාව සම්මත කළා කියා මා මේ සභාවට වාර්තා කරනවා. ජනවාරි 1 දා සිට මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මකයි. ඊට පෙර මේ ඩිජිටල් පක්ෂය ගොඩනඟන අන්දම ගැන සාකච්ඡා කරමු. මේ සමඟ තම තමන්ට ඉදිරියට ගෙන යා හැකි විවෘත පක්ෂයක් පළමු වතාවට ශ්‍රී ලංකාවේ බිහි වෙනවා.

“මා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වගේම මුළු රටේම ජනාධිපතිවරයා; ඒ වගේම මිතුරු වුණත් සතුරු වුණත් මා අනෙක් සෑම පක්ෂයකමත් ජනාධිපතිවරයා. මේ තනතුරු දෙක වෙන් කරගෙන අප කටයුතු කළ යුතුයි. එවිට ගැටලු මතු වන්නේ නැහැ.

මා ජනාධිපති ධුරය භාරගන්න අවස්ථාවේ මට උදව් කිරීමට මේ රටේ සෑම පක්ෂයක්ම සිටියා. අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සිටියා. පක්ෂවලින් තොරව බොහෝ දෙනා සිටියා. අප එය ආරක්ෂා කරගෙන ඉදිරියට යමු. එතැනින් නව දේශපාන සංස්කෘතියක් බිහි වෙනවා.

“අප 2020දී තිත්ත ඇත්ත කිවුවා. මේ රටේ ආර්ථිකය කඩාවැටිලා තිබෙනවා. ඩොලර් බිලියන 7ක් ගත්තොත් රට ගොඩ ගන්න පුළුවන්. කිසිවකු ඊට ඇහුම්කන් දුන්නේ නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගනිමු කියලා මා එදා පාර්ලිමේන්තුවේදීත් කිවුවා. මා එවකට ජනාධිපතිවරයාටත් කිවුවා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගියොත් රටේ ජනතාවට අසීරු තත්ත්වයක් උදා වන බව. 2022 මැයි 1 දා වන විට රට වැටී තිබුණා පමණක් නොව, ආණ්ඩුව ගෙනියන්න කිසිවකු හිටියේ නැහැ. කිසිවකු ඒ වගකීම භාර ගැනීමට ඉදිරිපත් වුණේත් නැහැ. ආණ්ඩු පක්ෂයට භාර ගැනීමට බැරි නම් විපක්ෂය එය භාර ගත යුතුයි. විපක්ෂයද එයින් ඉවත් වුණා. මේ රට භාර ගන්න කියලා මට කිවුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනකුයි. මේක කරන්න පුළුවන්ද කියලා ජනාධිපතිවරයා මගෙන් ඇහුවම මා කිවුවා කරන්නම් කියලා. ආර්ථිකය හදන එක එක්සත් ජාතික පක්ෂයේ වැඩක්. එය අසීරු කාර්යයක් නොවෙයි. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශය භාර දුන් විට මා එය භාර ගත්තා. අප එලෙස ඉදිරියට පැමිණියා.

“2022 ජූලි 9 දා මොකක්ද සිදු වුණේ? මේ රටේ බලය මාරු විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අනුවයි. එදා ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය කඩාදමන විට පක්ෂ නායකයන් කළේ මොකක්ද? අප මේ පිළිබඳ මාර්ගගත තාක්ෂණය ඔස්සේ කතා කරද්දී මේක නතර කරන්න කියලා එක්කෙනෙක්වත් කිවුවද? කවුරුත් එහෙම කළේ නැහැ. රටේ කලබල ඇති වෙලා, ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයෙන් පිට වෙලා සිටියේ. ඉතින් කොහොමද අලුත් ආණ්ඩුවක් හදන්නේ? රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස් වන්නේ නැති බව ඉන් අනතුරුව ප්‍රසිද්ධියේ කිවුවා. මා අයින් වෙයි කියලා මගේ ගේ ගිනි තැබුවා. එක්සත් ජාතික පාක්ෂිකයන් එහෙම දාලා යන්නේ නැහැ. ඉන් පසු සඳුදා මා කැබිනට් මණ්ඩලය කැඳවා සාකච්ඡා කර තිබෙන වැඩ පටන් ගත්තා. අනතුරුව බදාදා අර කණ්ඩායම අගමැති කාර්යාලය අල්ලාගන්න උත්සාහ කළා. රටේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇතුළේ මාර්ගගත සාකච්ඡාවක් පැවැත්වෙන විට පාර්ලිමේන්තුවත් වට කළා. ඔබේ යුතුකම මේ තත්ත්වය මැඬ පැවැත්වීම, ඒ සඳහා කටයුතු කරන්න කියලා මා හමුදාපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව මෙම කබලකාරි තත්ත්වය නවත්වා ආණ්ඩු බලය ගෙන කැබිනට් මණ්ඩලය සමඟ අප රටේ ඉදිරි කටයුතු කරගෙන ගියා.

“මා මේ රට භාර ගත්තේ රට ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් බව කිව යුතුයි. මේ ආර්ථිකය හදන්න බැහැ කියා රනිල් වික්‍රමසිංහ මෙය භාර ගත්තේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න කියලා බොහෝ අය කිවුවා. මා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් අගමැතිකම ලිඛිතව හෝ වාචිකව ඉල්ලුවේ නැහැ. ආණ්ඩුවක් හදන්න කියා ජනාධිපතිවරයා දන්වා සිටි විට මා එය පිළිපැදිය යුතුයි. එය රටේ වගකීමක්. එහෙම කරපු මා රාජපක්ෂලා ආරක්ෂා කරනවා කියලා කියනවා නම් ලියුම් ලියලා අගමැතිකම ඉල්ලපු අය ගැන මොනවා කියන්න ඕනැද? මගේ වගකීම සෑම ශ්‍රි ලාංකිකයෙකුම ආරක්ෂා කිරීමයි. එදා මේ රටේ පොහොර තිබුණේ නැහැ, ඉන්ධන තිබුණේ නැහැ. එදා රටේ තිබුණු තත්ත්වය මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. අපට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 3,500ක් දී තිබුණා. අප සතුව තිබුණේ එපමණයි. මා පිට රට ගිහින් පැමිණි පසු ඉතිරි වී තිබූ ඩොලර් 100ක්-200ක් මගේ ගෙදර තිබුණා. ඒ ප්‍රමාණය සමඟ බලද්දි එදා මට ලංකා ආණ්ඩුවට වඩා විදේශ විනිමය තිබුණා. මෙවන් තත්ත්වයක තමයි අප ආණ්ඩුව භාර ගෙන ඉදිරියට ගෙන ආවේ. ඩොලර් මිලියන 2,300ක් දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබුණා. එයින් අපට දැන් මිලියන 660ක් දී තිබෙනවා. ලෝක බැංකුවෙන් මිලියන 1,100ක් දුන්නා. පසුගිය වසරෙත් පොහොර ගේන්න මුදල් දුන්නා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 1,350ක් ලැබුණා. කෙසේ හෝ මිලියන 1,500ක් අපේ සංචිතයට එක් කළා. අප මේවා මහබැංකුවේ පාලනය යටතට පත් කළා. මින් පසුව නීතියෙන් අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ; මහජන බැංකුවෙන් හෝ ලංකා බැංකුවෙන් ණයට මුදල් ගන්නත් බැහැ. තිබෙන මුදල්වලින් කටයුතු කරන්න ඕනැ. අසීරු වුණත් උද්ධමනය පාලනය වෙනුවෙන් අප ඒ පියවර ගෙන තිබෙනවා.

“මීට පෙර ආණ්ඩුව ගෙන ගියේ වෙන කෙනකුගේ සාක්කුවට අත දාලා මුදල් අරගෙන. දැන් එහෙම කරන්න බැහැ. තිබෙන මුදල්වලින් ඉදිරියට යා යුතුයි. දැන් අපට ඉන්ධන තිබෙනවා; පොහොර තිබෙනවා; රටේ උද්ධමනය 1.3ට අඩු වී තිබෙනවා; නැවත රටේ කටයුතු පටන් ගෙන තිබෙනවා; විදේශ විනිමය ලැබෙනවා; ඒ වගේම සංචාරකයන් විශාල වශයෙන් අපේ රටට පැමිණෙනවා. අප බංග්ලාදේශයෙන් ගෙන තිබූ ඩොලර් මිලියන 200ක් නැවත ගෙවූ බව මා ඔබට දන්වා සිටීමට කැමැතියි. අප ඉන්දියාවෙන් ගත් මුදලුත් කොටස් වශයෙන් නැවත ගෙවීමට සැලසුම් කර තිබෙනවා.

“අද රටේ ජනතාවට දේශපාලන පක්ෂ ක්‍රමය එපා වී තිබෙනවා. අද දේශපාලනඥයන්ට පිළිගැනීමක් නැහැ. ඔවුන් බොරුකාරයන් බවට පත් වෙලා. ඒ සමඟම ජනතාව දේශපාලන පක්ෂවලින් ඈත් වෙලා. ඒ යථාර්ථය අප තේරුම්ගත යුතුයි. ඒත් අවාසනාවකට අනෙක් දේශපාලන පක්ෂ මෙය පිළිගන්නේ නැහැ. ඔවුන් සිතාගෙන ඉන්නේ ජනතාව ඔවුන් කර උඩින් ගෙන ගොස් ජනාධිපති කරයි කියලා. රටේ අනෙක් දේශපාලන පක්ෂවල සහාය ලැබුණේ නැත් නම් මට මේ රට ගොඩ ගැනීමට හැකි වන්නේ නැහැ.

ඒ වෙනුවෙන් අගමැතිතුමාටත්, ඇමැතිවරුන්ටත් මා ස්තුතිවන්ත වනවා. අප සැම විටම වෙනස සොයන්නේ අනෙක් අය දෙස බලලා. වෙනස පටන් ගත යුත්තේ තමන්ගෙන්මයි. ඒ නිසා ජනාධිපතිවරයා ලෙස ඒ වෙනස මගෙන් පටන් ගන්න මා තීරණය කළා.

“මා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කළා; ජනාධිපති ධුරයේ බලතලවලින් කොටසක් ව්‍යවස්ථා මණ්ඩලයට දුන්නා; රජයේ මුදල් අධීක්ෂණ කාරක සභාව නැවත ඇති කළා; ඒ වගේම බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් ඇති කළා. අප පාර්ලිමේන්තුවට බලය දුන්නා; ඒ වගේම ආර්ථික ස්ථායිතාව පිළිබඳ කාරක සභාවක් ඇති කළා; ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා ඇති කළා. පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් ඊට එක් කරගත්තා. ඇතැම් ඒවායේ සභාපති ධුරය දරන්නේ විපක්ෂය. ඒ අය හොඳින් ඒ කටයුතු කරගෙන යනවා. එය මට විශාල සහායක් බව කිව යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුවට වෙනම අයවැය කාර්යාලයක් ගෙන ඒමට මා කටයුතු කර තිබෙනවා. අපේ සංඛ්‍යාලේඛන සහ අධීක්ෂණ කාරක සභාවල සංඛ්‍යාලේඛන සංසන්දනය කර බලන්න පුළුවන්. වැරදි නම් ඒ බව දැනුම් දිය හැකියි. එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන ක්‍රමවේද අප හඳුන්වා දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එංලන්තයේ තිබෙන පාර්ලිමේන්තු තත්ත්ව පිළිබඳ අවධානය යොමු කරමින්, කරු ජයසූරිය මැතිතුමා කෙටුම්පතක් සකස් කර තිබෙනවා. මේ සඳුදා මා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මන්ත්‍රීවරුන් නිසි ලෙස හැසිරෙන්නේ නැත් නම් ඒ පිළිබඳ කටයුතු කළ හැකියි. වසර 20ක් පුරා කතා කළ දූෂණ විරෝධි පනත මා සම්මත කරගත්තා. අප එතනින් නැවතුණේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර, රාජ්‍ය යන්ත්‍රණයේ දූෂණය නතර කිරීමට රාජ්‍ය පරිපාලන විශ්ලේෂණය නමින් තවත් වාර්තාවක් සකස් කර තිබෙනවා. එය දැන් සිංහල සහ දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා. දූෂණයෙන් තොර රාජ්‍ය මුදල් පරිපාලනය පිළිබඳ අවධානය යොමු කෙරෙන මේ වාර්තාව ක්‍රියාත්මක කරන්නේ ආසියාවේ පළමු වරට කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. විනිවිද භාවයෙන් යුතුව ටෙන්ඩර් ක්‍රමය ක්‍රියාත්මක වීම මේ අනුව සිදු වනවා. රුපියල් බිලියනයකට වඩා ටෙන්ඩර් කැඳවනවා නම් එය Online ප්‍රසිද්ධ කළ යුතුයි.

“මා සඳුදා තවත් කොමිසමක් පත් කරනවා. දූෂණය ඇති වන එක් තැනක් දේශපාලන පක්ෂ. අද එහි වියදම් වැඩියි. මුදල් ප්‍රමාණය වැඩි වීම සමඟ බලපෑම් ඇති වෙනවා. මුදල් සමඟ අපරාධකරුවන් ඊට එක් වනවා. ඉක්වදෝරය වගේ රටවල අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පක්ෂ අල්ලාගන්නවා. එහි ජනාධිපති අපේක්ෂකයා ඝාතනය කරදැමුවා. ඒ වගේම ඇතැම් පක්ෂවල ඉන්නේ කවුද කියාවත් ජනතාව දන්නේ නැහැ. ජනතාව සහ දේශපාලන පක්ෂ අතර විශ්වාසයක් ඇති කළ යුතුයි. ඒ නිසා ජාත්‍යන්තර ක්‍රමවේද දෙස අවධානය යොමු කර, ශ්‍රී ලංකාවේ නව ක්‍රමවේදයක් ඇති කරන ලෙස හිටපු අගවිනිසුරු ප්‍රියසත් ඩෙෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ කොමිසම පත් කරනවා. එය ස්වාධීනව අපක්ෂපාතිව කටයුතු කරන අතර, ඒ වාර්තාව අනුව අප ඉදිරි කටයුතු කිරීමට අපේක්ෂා කරනවා.

“ලබන වසරේ මා රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පවත්වනවා. ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇතැම් විට 2025 මුල් කාලයේදී පළාත් සභා මැතිවරණ පවත්වනවා. එක්සත් ජාතික පක්ෂයත් දැන් සිටම ඊට සුදානම් විය යුතුයි.

අපේ වැරදි පිළිගෙන, ඒවා නිවැරදි කිරීමට කටයුතු කළේ මේ ආණ්ඩුව යටතේ බව මා කියන්න කැමැතියි. කවුද වැඩ කළේ කියා ජනතාව දන්නවා. අප කෑගහලා කියන්නේ නැහැ. මේ සමඟ එක් වන්න කියලා අනිත් අයටත් මා කියනවා.

“අපට අවශ්‍ය ස්මාර්ට් රටක් හදන්න. ස්මාර්ට් රටක් හදන්න නම් ශුද්ධ වූ ක්‍රමයක් තිබිය යුතුයි;‍ දූෂණය පිටුදැකිය යුතුයි. මේ සඳහා අනෙක් පක්ෂත් සහාය වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. අපි ඉදිරියට යමු. එක්සත් ජාතික පක්ෂය ස්මාර්ට් පක්ෂයක් විය යුතුයි. ලබන අයවැයේදී ස්මාර්ට් රටක් හදන්නේ කොහොමද කියා මම ඔබට කියන්නම්. ඒ ස්මාර්ට් රට ගොඩනැඟීම අප භාරගනිමු.”

මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට සුභාශිංසන එක් කර තිබිණි. මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරු, හිටපු ඇමැතිවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීහු සහ දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් පැමිණි පාක්ෂිකයෝ විශාල පිරිසක් සම්මේලනයට එක් වූහ.

ඡයාරූප – චින්තක කුමාරසිංහ

සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT