Home » තුර්කි – ශ්‍රීලංකා රාජ්‍ය සබඳතාවලට වසර 75යි

තුර්කි – ශ්‍රීලංකා රාජ්‍ය සබඳතාවලට වසර 75යි

by gayan
October 23, 2023 1:00 am 0 comment

ශ්‍රි ලංකාව සහ තුර්කිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා සංචාරක සහ සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහනක් තුර්කියේ මෙරට තානාපති කාර්යාලය විසින් පසුගියදා අදානා නුවරදී සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස සැමරීමට ‘ගෝලීය දේශගුණික විපර්යාස සඳහා ස්වභාවධර්මය පදනම් කරගත් විසඳුම් සමඟ ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරයි’ තේමාවෙන් මේ වැඩසටහන සංවිධානය කර තිබිණි. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) 6 වැනි වාර්තාව අනුව දේශගුණක විපර්යාස නිසා වෙරළ තීරයන් ඇති රටවල් අනාගතයේ දැඩි ලෙස පීඩාවට පත් වනු ඇති බවත්, සාගරයෙන් යැපෙන ධීවර කර්මාන්තය, වරාය සහ නාවික කටයුතු, කෘෂිකර්මාන්තය, සංචාරක වැනි ව්‍යාපාරය අභියෝගයට ලක් විය හැකි බවත් වන කරුණු මත තේමාව තෝරා ගෙන තිබිණි. මේ සැමරුම පසුගිය පෙබරවාරි 6 දින පැවැත්වීමට නියමිතව තිබුණද තුර්කියේ සිදු වූ භූමිකම්පා ව්‍යසනය නිසා කල් දැමීමට සිදු විය. අදානා හිල්ටන් හෝටලයේදී ප්‍රධාන ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වුණු අතර ඇන්ටාලියා සහ බුර්සා නගරවලද එවැනි වැඩසටහන් පැවැත්විණි.

අදානාහි පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එහි ආණ්ඩුකාර Yavuz Selim Kösger මහතා සහභාගි විය. මේ වැඩසටහනට පෙර එරට ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, පුනර්ජනනීය බලශක්ති සහ කෘෂිකාර්මික අංශ ඇතුළුව සහයෝගිතාව, වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කළාය. භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකාව තුර්කියට උදව් කළ ආකාරය සහ සුනාමියෙන් පසු තුර්කිය ශ්‍රී ලංකාවට උදවු කළ ආකාරය පිළිබඳ මෙනෙහි කරමින් අනතුරු සහ විපත්ති අවස්ථාවන්හිදී සැබෑ මිතුරන් කවුරුන්ද යන්න හඳුනාගත හැකි බව ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහන් කළේය.

තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිය ප්‍රධාන දේශනය පැවැත්වූවාය. මේ අවස්ථාවට ආරාධිතයෝ 150කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. සම්මානලාභි වෘත්තීය ඡායාරූප ශිල්පීන් වන රවී රණසිංහ සහ ආචාර්ය උම්බර්ටෝ බිනෙට්ටිගේ ඡායාරූප සහිත ස්වභාවධර්මය සහ දේශගුණික විපර්යාස බලපෑම් සහ සංස්කෘතිය නිරූපණය කරන ශ්‍රී ලාංකේය ඡායාරූප ප්‍රදර්ශනයක් සහ ශ්‍රී ලාංකේය ප්‍රකට චිත්‍ර ශිල්පී වසන්ත පෙරේරා මහතාගේ සිතුවම් ප්‍රදර්ශනයක්ද පැවැත්වුණු අතර, ශ්‍රී ලාංකේය මැණික් ඔබ්බවන ලද ස්වර්ණාභරණ දැක්මක්ද පවත්වනු ලැබීය. තුර්කියේ BETA Tea සමාගම උත්සවයට අනුග්‍රාහකත්වය දැක්වීය.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT