රුපියල් මිලියන 4000 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල සිට බටහිර දෙසට වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදු කළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, ඊයේ (22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කළ සූක්ෂම පරීක්ෂාවේදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 4000 කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය ඊයේ (22) දෙවුන්දර ධීවර වරායේදී නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා මෙරට සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්ෂණ කටයුතු සිදු කරනු ලබන නාවික හමුදාව, ඒ සඳහා මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදු කළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්රාරක්ෂා නෞකාව යොදවා ගාල්ල සිට බටහිර දෙසට නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් පසුගිය 20 වන දින සවස් කාලයේ එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ මෙම සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂාව සඳහා දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
ඊයේ (22) උදෑසන එම සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවේ සිදු කළ සූක්ෂම පරීක්ෂාවේදී, එම යාත්‍රාවේ සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර දොළහක් (12) තුල පාර්සල් එකසිය හැටක (160) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සහ පාර්සල් විසි අටක (28) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 212 ග්‍රෑම් 350 ක පමණ තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4000 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 53 වන අතර, දෙවුන්දර සහ කෝට්ටේගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ. එම සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රාව, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800 ක පමණ තොගය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කර තිබේ.