දරුවාට හදිසි ශල්‍යකර්මයක්
මාස 04ක් වයසැති කිරිකැටි දරුවකු සහ එම දරුවාගේ මවුපියන්ට තුවාල ගෙන දෙමින් අහුංගල්ල ගල්වෙහෙර පාසල දී පෙරේදා (21) රාත්‍රි 07.30ට පමන සිදුවූ වෙඩි තැබීම පාතාලයේ කල්ලි දෙකක් අතර මේ වන විට හටගෙන ඇති බල අරගලයක ප්‍රතිඵලයක් බව විමර්ශනයේ දී හෙළිවී ඇත.
බිලිඳාගේ පියා ඩුබයි හී රැඳී සිටින මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාලයේ අපරාධකරුවකු වන බබා නමැති අයගේ බිරියගේ සහෝදරයා බව පොලිසිය කියයි. බබා නමැති අය නියෝජනය කරනු ලබන්නේ රත්ගම විදුරගේ කණ්ඩායම බවත් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ කොස්ගොඩ සුජීගේ කණ්ඩායම විසින් බවට සැකකරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
විදුරගේත් සුජීගේත් කල්ලි දෙක අතර මේ වන විට පවතින ගැටුම උග්‍රවී ඇත්තේ පවුල් දෙකේ සාමාජිකයන්ට පවා වෙඩි තබා ඝාතනය කිරීමේ තැනට පත්වීම යැයිද එම නිලධාරියා කීය.
බිලිඳාගේ පියාට ලීබඩු සාප්පුවක් ඇති බවත් එම ලීබඩු සාප්පුව වසා දමා යතුරු පැදියකින් නිවස බලා යමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය. ටී 56 අවියකින් වෙඩි 21ක් තබා ඇති බව විමර්ශනයේ දී පෙනී යන බව ද එම නිලධාරියා කීය. වෙඩි තබා ඇත්තේද යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසිනි. වෙඩි ප්‍රහාර හමුවේ සිය දරුවා සහ බිරියගේ ජීවිතය ආරක්ෂාකර ගැනීමට පියා නිවසටම යතුරුපැදිය පදවාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. ඔවුන් තිදෙනා බලපිටිය රෝහලට ඇතුළත්ව ඇත්තේ ඉන් අනතුරුවය.
තුවාල ලබා ඇත්තේ කිරා හන්දි දිනේශ් මුතුමාල් ද සිල්වා නමැති 32 හැවිරිදි පුද්ගලයකු හා ඔහුගේ බිරිය වන 28 හැවිරිදි පෙත්තාමේස්ත්රිගේ ශානි මහේෂා සහ ඔවුන්ගේ සිව්මස් හැවිරිදි කිරාහන්දි නෙහාන් පිරිමි දරුවාය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා සහ ඔහුගේ සිව්මස් හැවිරිදි පුත්‍රයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහළ වෙත යැවූ බව බලපිටිය මූලික රෝහල පවසයි. දරුවාට වෙඩිල්ල වැදී ඇත්තේ පාදයටය. දරුවාගේ වෙඩි වැදී ඇති පාදයට ශල්‍යකර්මයක් කිරීමට සිදුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වෙඩි වැදීම නිසා කුඩා දරුවාගේ එක් පාදයක ඇඟිලි සියල්ලටම හානි සිදුවී ඇති ඇත.
වෙඩි වැදුණු කාන්තාව බලපිටිය මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.
දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සජිව මැදවත්ත මහතාගේ උපදෙස් පරිදි ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරී රවිදු සිල්වා මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා යොදවා ඇත.
කරන්දෙනිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන/අහුන්ගල්ල සමූහ අනුර යසමිත් / අම්බලන්ගොඩ ඤාණදාස/
ජනකාන්ත ලියනගේ – බළපිටිය (විශේෂ)
ඡායාරූප- කරන්දෙනිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන