මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51කට ආසන්න මුදලක් නගර සභා ගිණුමට බැර නොකර එහි සරප් අංශයේ ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරිනිය පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම නිලධාරිනිය පවුලේ විවාහ මංගල උත්සවයක් සඳහා අවශ්‍ය ගෙවීම් කිරීමට මෙම මුදල් රැගෙන ගොස් තිබෙන බව දැනට සිදුකර තිබෙන විමර්ශන මඟින් අනාවරණය වී ඇත.
නගර සභාවට බදු, වරිපනම්, ජල බිල්පත් ගාස්තු ඇතුළු සියලු ගෙවීම් සිදු කරනු ලබන්නේ සරප් අංශය මඟිනි. මෙහි දෛනිකව රුපියල් ලක්ෂ ගණනක මුදලක් එකතු වන බව දැන ගන්නට තිබේ.
දෛනිකව එකතු වන මුදල් පොත්වල සටහන් කර නගර සභාවේ ගිණුමට බැර කළ යුතුය. පසුගිය සතියේ නගර සභාවට ගෙවීම් ලෙස ලැබුණු මුදල්වලට අදාළ ගිණුම් සහ ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී රුපියල් ලක්ෂ 51ක පමණ මුදලක් හිඟ බව පෙනී යාමෙන් පසු නාගරික කොමසාරිස්වරයාගේ මෙහෙයවීමෙන් අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇත.
අදාළ මුදල් නැවත ගෙනවිත් භාර දී සිද්ධිය යටපත් කිරීමට නගර සභාවේම ඉහළ නිලධාරීන් පිරිසක් උත්සාහ කර ඇතැයි වාර්තා වන නමුත් නාගරික කොමසාරිස්වරයාගේ මෙහෙයවීම මත ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා දැනුම්වත් කිරීමට ද පියවර ගෙන ඇත.
මහනුවර මහ නගර සභාවේ වසර 05කට ආසන්න කාලයක් සේවය කර තිබෙන අදාළ නිලධාරිනිය මෙම වසර අවසානයේ වාර්ෂික ස්ථාන මාරු යටතේ වෙනත් රාජ්‍ය ආයතනයකට යාමට සූදානමින් සිට ඇති බව ද වාර්තා වේ.
අසේල කුරුළුවංශ