“සැලසුම්ගත තිරසර සෞභාග්‍යමත් දේශයක්” තේමාව කර ගනිමින් සකස් කළ ජාතික භෞතික සැලැස්ම කඩිනමින් සෑම දිස්ත්‍රික් කමිටුවකටම ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම සැලැස්ම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද අනුමැතිය හිමිව තිබේ. ඉදිරියේදී මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාතික භෞතික සැලැස්ම කඩිනමින් සෑම දිස්ත්‍රික් කමිටුවකටම ඉදිරිපත් කිරීම සඳහා ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පසුගියදා (20) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
රටේ සංවර්ධන වැඩසටහන්වලදී ඒ සඳහා ක්‍රියාත්මක ආයතන ඒකාබද්ධ කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බොහෝ විට ප්‍රමාද වෙනවා. කලින් කලට රජයන් වෙනස් වන විට ජාතික සැලසුම් වෙනස් වීම රටේ සංවර්ධනයට බාධාවක් බව ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
නමුත් ජාතික භෞතික සැලැස්මේ නිර්දේශිත ප්‍රතිපත්ති හා සැලසුම් අනුව ක්‍රියාත්මක වීමෙන් සංවර්ධන සැලසුම් වඩාත් ඵලදායී වන අතර ජනතා අවශ්‍යතාවන්ට විසඳුම් ලැබෙන බව ද ඇමැතිවරයා පැවසීය.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් “ජාතික භෞතික සැලැස්ම – 2048” සකස් කර තිබේ. ඒ 2000 අංක 49 දරන පනතින් සංශෝධිත, 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත ප්‍රකාරවයි. ජාතික භෞතික සැලැස්ම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරිණි. ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි විය. එහිදී ජනාධිපතිවරයා ද උපදෙස් දුන්නේ මෙම ජාතික භෞතික සැලැස්මට සියලුම දිස්ත්‍රික් කමිටු අනුමැතිය ලබා ගන්නා ලෙසයි.
ඊට අමතරව එම සැලැස්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිතය. අනතුරුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ. පසුව ජාතික භෞතික සැලැස්ම පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශ උපදේශන කාරක සභාවට ඉදිරිපත් කිරීමට ද නියමිත බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
ප්‍රථමයෙන්ම මෙරට ජාතික භෞතික සැලැස්මක් සකස් කර ඇත්තේ 2007 වසරේදීය. පසුව 2019 වසරේදී එය යාවත්කාලීන කර තිබේ. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් “ජාතික භෞතික සැලැස්ම – 2048” සකස් කර ඇත. මෙහි තේමාව වන්නේ “සැලසුම්ගත තිරසර සෞභාග්‍යමත් දේශයක්” යන්නයි. මෙම ජාතික භෞතික සැලැස්ම අන්තර් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුවට ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා ද ලබා ගෙන තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
උපාලි කරුණාරත්න