මුලතිව් කොක්කුතුඩුවායී කර්නාටුකේනි ප්‍රදේශයේ අක්කර පනහක පමණ පොල් වගාවක් වන අලින් විසින් පසුගියදා (19) මහ දවල් විනාශ කොට තිබේ.
මෙම පොල් වගාව පළාතේ ගොවීන් දෙදෙනකුට අයත් වන අතර විසි දෙනකුගෙන් පමණ සමන්විත වන අලි රංචුවක් පැමිණ පොල් ගස් කඩා බිම දමා ඒවායෙහි අතු කඳන් හා ගෙඩි කා තිබේ. පොල් වගාවට අමතරව එම ගම්මානයේ ගොවීන් ගේ දෙළුම්, කෙසෙල්, රටකජු හා කොස් වගාවන්වලට ද මෙම වන අලි රංචුව හානි සිදු කොට තිබේ. වන අලින්ගෙන් වගා හානි සිදු වූ ගොවීන් මුලතිව් දිසාපති කාර්යාලයට මේ පිළිබඳව දැනුම් දී ඊට සරිලන සේ වන්දියක් ගෙවන ලෙස ඉල්ලීමක් කොට තිබේ. ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙම වන අලි රංචුව වෙනත් ප්‍රදේශයකින් මුලතිව් පළාතට රැගෙන විත් දමන ලද වන අලි රංචුවක් බවයි.
අලි වෙඩි, රතිඤ්ඤා දැල්වීම්, කෑකෝ ගැසීම් හෝ වෙනත් කිසිදු ක්‍රමයකට මෙම වන අලි පලවා හැරීමට නොහැකි බව ගම්වාසීන් කියා සිටි අතර මෙම වන අලි රංචුව වනජීවී නිලධාරීන් යොදවා ඈත ප්‍රදේශයකට පලවා හැරීමට පියවර ගන්නා ලෙස ද මුලතිව් දිසාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ