Home » අම්මේ මට මරණ තර්ජන තියෙනවා කියා නිවාඩුවට ගෙදර ආ දවසේ පුතා කීවා

අම්මේ මට මරණ තර්ජන තියෙනවා කියා නිවාඩුවට ගෙදර ආ දවසේ පුතා කීවා

ඇහැළියගොඩ ඕඅයිසීගේ මව කියයි

by gayan
October 23, 2023 1:00 am 0 comment

කළුතර මධ්‍යම විශේෂ සුනිල් සාන්ත කුරුවිට කේ. ඒ. සුනිල්
  • පුතාගේ ශිෂ්‍යත්ව විභාගය නිමා වූ වහාම පවුලම නුවරඑළියේ සංචාරයක් ගිහින්
  • අවිස්සාවේල්ල විශේෂ කල්පනී පද්මපෙරුම

නිවාඩුවට ගමේ ඇවිත් හමු වී කථා කර යද්දී ‘අම්මේ මට මරණ තර්ජන තියෙනවා’ යනුවෙන් පුතා තමන්ට පැවසූ බව ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ජිත් ප්‍රියන්ත සිල්වා මහතාගේ මව පැවසුවාය. ඉකුත්දා (21) මධ්‍යම රාත්‍රී 12.00න් පසු වේලාවක ඇහැලියගොඩ පොලිසියට ආසන්නව පිහිටි තමන් නැවතී සිටින හෝටල් කාමරයේදී වෙඩි වැදීමකින් ඔහු මියගොස් ඇති අතර, පොලිසිය විශ්වාස කරන්නේ සිය රාජකාරි ගිනි අවියෙන් ස්ථානාධිපතිවරයා වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගන්නට ඇති බවයි.

42 හැවිරිදි වියේ පසු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වාද්දුව ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, ඔහු වයස අවුරුදු 14 හා 17 වනවියේ පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

ඉකුත් 20 වන දින මධ්‍යම රාත්‍රී 12.00 වන තෙක් ඔහු පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් රැඳී සිට ඇති අතර පසුව නිල නිවසට යාමෙන් පසු මෙසේ වෙඩි වැදී මිය ගොස් ඇත.

කලක් සිය උපන් බිම වූ කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි කරමින් සිට සිල්වා මහතා ඇහැලියගොඩට ගොස් දැනට අවුරුදු දෙකක් පමණ වෙතැයි ඔහුගේ මව පැවසීය. වාද්දුව මොල්ලිගොඩ වෙසෙන මේ මව “දිනමිණ” සමඟ පෙරේදා (21) සවස මේ තොරතුරු රැසක් අනාවරණ කෙළේ හඬා වැළපෙමිනි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය නිම වූ වහාම තම දයාබර පුතුගේ ඉල්ලීම පරිදි පසුගිය දිනක මුළු පවුලම නුවරඑළියේ විනෝද සංචාරයක් ද ගිය බව ඇය පැවසුවාය.

මිය ගිය පොලිස් ස්ථානාධිපතිවරයා 2021 වසරේ නොවැම්බර් මස 20 වන දින ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පත්ව මිය යන මොහොත දක්වාම ස්ථානාධිපතිවරයා ලෙස පොලිස් බල ප්‍රදේශයේ ලොකු කුඩා, දුප්පත් පොහොසත් සියලු දෙනා සමගම සුහදව එක හා සමානව ඇසුරු කර සිය රාජකාරිය නිසි ලෙස අපක්ෂපාතීව සිදුකළ අවංක නිලධාරියෙකු ලෙස ප්‍රදේශවාසීන්ගේ හිත් දිනාගෙන ඇත. ඔහුගේ හදිසි වියෝවෙන් ඇහැලියගොඩ ප්‍රදේශයේජනතාව දැඩි ශෝකයටත් කම්පාවටත් පත්ව සිටිති. හිතවත්හූ ඔහු පිළිබඳ මහත් බැතියෙන් කතා කරති

2015 වසර වන විට ඔහු රාජකාරි කළේ බොරලැස්ගමුව පොලිස් ස්ථානයට අනුයුක්තවයි. එක් අවස්ථාවකදී යම්කිසි මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීමකදී අත්අඩංගුවට පත් සැකකරුවකුගේ නිවසකට ගොස් එම සැකකරුගේ දරුවන් දෙදෙනාට සුපිරි වෙළඳසලකින් මිලදී ගත් ආහාර අඩංගු පාර්සලයක් ඔහුගේ වියදමින් එම පවුල වෙත ලබාදී තිබුණි.

තවත් බොහෝ අවස්ථාවල ඔහුට රාජකාරි කරන අවස්ථාවේ ලැබෙන කෑම බීම , තේ කෝප්පය පවා බොන්නට යද්දි බන්ධනාගාර ගත කර සිටින අත්අඩංගුවට පත් සැකකරුවන් කෑවද බීවද කියා අසන පුරුද්දක් ඔහුගේ තිබුණා. ඒත් එක්කම සමහරවිට ඔහුට ලැබෙන කෑම බීම පවා ඔවුන්ට ලබාදෙන අවස්ථා ඇති බව ඉහත අවස්ථාවට සහභාගි වූ මාධ්‍යවේදියකු ප්‍රකාශ කළේය.

විවිධ අවස්ථාවල මත්ද්‍රව්‍ය සම්බන්ධව බන්ධනාගාර ගතකරන අත්අඩංගුවට පත්වන සැකකරුවන් ඔහු වෙත කැඳවාගෙන ඔවුන්ගේ සියලු තොරතුරු විමසනවා. විමසමින් ඔවුන් උපදේශනයකට මෙන් ඔවුන්ට ඉන් ගැලවෙන මාර්ගය, කුමක් කළ යුතුද යන්න පිළිබඳව වටහා දෙන අවස්ථා නොයෙක් අවස්ථාවල වාර්තා වෙනවා.

එසේම කිසිම දිනක සැර පරුෂ අන්දමින් පොලිස් ස්ථානයට පැමිණෙන කිසිම අයකුට අමතන හෝ කටයුතු නොකිරීමද විශේෂත්වයක්.

එසේම පොලිස් අනෙ පැමිණෙන කිසිවෙකුට පක්ෂපාතීව කටයුතු නොකරමින් අපක්ෂපාතීව සියලු පැමිණි විභාග කිරීමට දායක වන බවයි සමීපතම පුද්ගලයන් පවසා සිටින්නේ.

පෙර රාජකාරි කර පොලිස් ස්ථානවල දී පාසල් යන්නට නොහැකි දරුදැරියන් සොයා ගෙන ඔවුන්ට අවශ්‍ය සියලු දේ සපයමින් ඔවුන් නැවත පාසල් යැවීමට කටයුතු කර තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතු බවත් මේ පිරිස් පවසනවා.

සිල්වාගේ මෘත දේහය පිළිබඳ මරණ පරීක්ෂණය අවිස්සාවෙල්ල රෝහලේදී සිදුකර දේහය මහජන ගෞරවය සඳහා පැයක කාලයක් ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ තැන්පත් කර පසුව මොරොන්තුඩුව පිහිටි නිවසට රැගෙන ගොස් ඇත. අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතය.

ඇහැලියගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT