Home » කැනඩාවේ රැකියා පෙන්වා ගම්වල තරුණයන් රවටා ලක්ෂ ගණන් මුදල් ගරලා

කැනඩාවේ රැකියා පෙන්වා ගම්වල තරුණයන් රවටා ලක්ෂ ගණන් මුදල් ගරලා

by gayan
October 23, 2023 1:00 am 0 comment

සීගිරිය විශේෂ

කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසමින් තරුණ තරුණියන් සියයකට ආසන්න පිරිසකගෙන් රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දඹුල්ල කාර්යාලයට පසුගිය 20 දින පැමිණිල්ලක් ලැබී තිබිණි. මඩාටුගම උල්පත පාර ප්‍රදේශයේ පදිංචි සී. කේ. ජී. බණ්ඩාර මහතා සහ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් තුසිත යන මහත්වරුන් දෙදෙනා මෙම පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය දඹුල්ල කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ධම්මිකා කෝනාර මහත්මිය වෙත ඉදිරිපත් කර තිබේ. මෙම ජාවාරමේ තත්ත්වය පිළිබඳව සොයා බැලූ ධම්මිකා කෝනාර මහත්මිය වහාම මෙහි සියලු තොරතුරු කොළඹ ප්‍රධාන කාර්යාලයට ලබා දෙන ලෙසත් කොළඹ කාර්යාලයේ නිලධාරීන් අමතා මෙහි බරපතළකම පිළිබඳව දැනුවත් කළ බවත් සඳහන් කළාය. ලංකාව පුරා විසිරී සිටින තරුණ තරුණියන් රවටා විවිධ දේශපාලනඥයන් සමඟ ඡායාරූපවලට පෙනී සිටිමින් මුහුණුපොතේ සහ ප්‍රචාරක කටයුතු සිදු කර මෙම ජාවාරම් සිදු කර තිබෙන බවත් ව්‍යාජ වීසා බලපත්‍ර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල නාමයන්, ලිපි ශීර්ෂ, අත්සන් ආදී යොදාගෙන කූට ලේඛන සකසා තිබෙන බවත් ඊට අමතරව රජයේ ආයතන උපයෝගී කරගෙන තරුණ තරුණියන් නොමඟ යැවීම සඳහා විවිධ සම්මන්ත්‍රණ, දැනුවත් කිරීම්, සම්මුඛ පරීක්ෂණ මෙන්ම කම්කරු දෙපාර්තමේන්තු කාර්යාල භාවිත කරමින් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ආදිය සිදු කරමින් මෙම ජාවාරම් සිදු කර තිබෙන බවට තරුණයන්ගෙන් ලැබුණු පැමිණිල්ලේ සඳහන්ව ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ජාවාරමට හසු වූ උල්පත පාර මඩාටුගම යන ලිපිනයේ පදිංචි සී. කේ. ජී. බණ්ඩාර මහතා කියා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා පොලිසියේ විශ්‍රාම ගිය කාන්තාවක් විසින් බොහෝ තරුණ තරුණියන් කැනඩා යැවීම සඳහා භාර ගත් බවය. ඒ අනුව ඇය ලබා දුන් උපදෙස් පරිදි එක් සාමාජිකයකුගෙන් රුපියල් ලක්ෂ 20 බැගින් ඇතැම් අවස්ථාවන්හිදී ඇයට මුදල් ලබා දුන් බවත් ඇය විසින් ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවකගේ ගිණුමකට මුදල් බැර කළ බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ දේශන පවත්වමින් සම්මුඛ පරීක්ෂණ පවත්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ඉහළ නිලධාරීන් පැමිණ සම්මුඛ සාකච්ඡා පවත්වන බව එමෙන්ම ප්‍රවීණ දේශකයකු කැඳවා කැනඩාව පිළිබඳව අවබෝධතා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කළ බවත් මෙය රජය හරහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ලෙස ඉතා සූක්ෂ්ම ලෙස ජනතාව රැවටූ බවත් සඳහන් කරන්නට විය.

මේ වන විට වසරක පමණ කාලයක් ගත වී ඇතත් තමන්ගේ මුදල් සහ කැනඩා ගමන සම්පූර්ණයෙන්ම නැවතී තිබෙන බවද සඳහන් කළ ඔහු කියා සිටියේ විවිධ භාණ්ඩ උකසට තබා ණය වී මුදල් ලබා දී මේ වන විට රටේ ණයකරුවන් බවට පත්ව තිබෙන බවය. සම්මුඛ පරීක්ෂණයට ගිය අවස්ථාවේ හැත්තෑ පස් දෙනෙකුට අධික පිරිසක් කොළඹට පැමිණ සිටි බවද හෙතෙම සඳහන් කරන්නට විය.

එමෙන්ම ගල්කිරියාගම පදිංචි ප්‍රදීප් තුසිත මහතා කියා සිටියේ තමන් ඇතුළු බොහෝ දෙනකු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා පොලිසියේ සේවය කොට විශ්‍රාම ගොස් සිටි මෙම කාන්තාවට මුදල් ලබා දුන් බවය. එම කාන්තාව මෙම ව්‍යපෘතිය සිදු කරගෙන යන බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් මේ වන විට මුදල් සහ කැනඩා ගමන අසාර්ථක වී එයජාවාරමක් බවට හෙළිදරව් වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.

මෙම බරපතළ චෝදනාව පිළිබඳව මුදල් ලබාගත් බව කියන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා පොලිසියේ විශ්‍රාම ගිය අමිතා කුමාරි හේරත් මහත්මියගෙන් අප විමසීමක් කළෙමු. ඇය මෙහිදී කියා සිටියේ තමන් එවැනි මුදල් ලබා ගැනීමක් හෝ විදේශ රැකියා ලබා දෙන ක්‍රමවේදයක් සිදු නොකළ බවය. එමෙන්ම දුරකතනය හරහා කතා කළ පළියට තමන්ට උත්තර ලබා දීමට නොහැකි බවද ඇය මාධ්‍යවේදීන්ට පමණක් නොව බල්ලන්ට පවා දුරකතනයෙන් කතා කළ හැකි බව ප්‍රකාශ කරන්නට වූවාය. කෙසේ වෙතත් එම ඇමතුම ලබා ගන්නා අවස්ථාවේ දී අප සමඟ දඹුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කළ තරුණයන් දෙදෙනා ද එක්ව සිටි අතර, ඇය කියා සිටියේ එවැනි මුදලක් ලබාගෙන ඇත්නම් මුදල් ලබා දුන් අය සමඟ තමාව මුණගැසීමට පැමිණෙන ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ අප දුරකතනය මුදල් ලබා දුන් තරුණයන් දෙදෙනාට ලබා දීම සිදු කරන්නට විය.

එහිදී නිරුත්තර වූ අමිතා කුමාරි හේරත් මහත්මිය කඩිනමින් මුදල් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් තමන් එම මුදල් ලබා දීම සිදු කරනු ලැබුවේ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි චලනි ප්‍රියන්කා නමැති කාන්තාවකට බව සඳහන් කරන්නට විය. ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි එම ව්‍යාපාරය පවත්වාගෙන යන චලනි ප්‍රියන්කා මහත්මිය දේශපාලනඥයන් සමඟ සිටින ඡායාරූප මුහුණුපොතේ බෙදා හරිමින් ඇය දේශපාලනය කරන කාන්තාවක් බවත් ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම එම පක්ෂයේ බැසිල් රාජපක්ෂ නාලක ගොඩහේවා ආදී දේශපාලනඥයන් සමඟ ඡායාරූපවලට පෙනී සිටිමින් එම ඡායාරූප මුහුණුපොතේ ප්‍රචාරය කරමින් ඇති බව තරුණයන් දෙදෙනා අප සමඟ පැවසූහ.

පසුව අප මෙම කාන්තාවගෙන් කැනඩා රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගැනීම සිදු කළ ආකාරය පිළිබඳව කරුණු විමසන්නට වුණෙමු. ඇය ද කියා සිටියේ තමන් එවැනි මුදල් ලබා ගැනීමක් සිදු කර තිබෙන නමුත් මේ වන විට බොහෝ දෙනෙකුට තමන් ලබා ගත් මුදල් ලබා දීම සිදු කර තිබෙන බවය. එමෙන්ම වැඩි විස්තර අවශ්‍යතාවයක් වන්නේ නම් තමන් සිටින නිවෙසට පැමිණ කරුණු විමසන ලෙස ද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් දේශපාලනඥයන්ගේ ඡායාරූප පෙන්වමින් මෙම ක්‍රියාවලිය සිදු කිරීම මෙන්ම ඇයගේ සැමියා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස සිටින බවද ඇය පිළිගැනීම විශේෂත්වයකි.

මානව හිමිකම් වීමර්ශන අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙන්ම දේශපාලනඥයෙකු ලෙස පෙනී සිටින චමින්ද මුදලිගේ නමැති අයෙකු මෙම කැනඩා ගමන් සඳහා සූදානම්ව සිටි තරුණ තරුණියන් කොළඹට කැඳවා දේශන පැවැත්වූ බවත් ඔහුගේ දේශනවලට රැවටුණු බවත් පැමිණිල්ල ඉදිරිපත් කළ පිරිස් පැවසූහ.

පසුව අප එම චමින්ද මුදලිගේ නමැති අයගෙන් විමසීමේදී කියා සිටියේ තමන් ආයතන ප්‍රවර්ධනය කිරීමේ දේශන පවත්වන අයකු බවය. පෞද්ගලිකව එම කාන්තාව හඳුනන බවත් ඒ අනුව තමන්ගේ ඥාතීන් සහ හිතවතුන් කිහිප දෙනකුම ඇයට කැනඩා රැකියා සඳහා මුදල් ලබා දී තිබුණු බවත් ඒ අනුව තමන් ඇයගේ ඉල්ලීම මත දේශනයකට සහ සහභාගි වූ බවය.

කෙසේ වෙතත් ප්‍රවර්ධන දේශනයන් මඟින් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට තමන්ගේ දේශනය අසා රට යෑම හෝ මුදල් ලබා දීම සඳහා බලපෑමක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළේය. උදාහරණ ගෙන හැර දක්වමින් කියා සිටියේ ඕනෑ තරම් දක්ෂ ක්‍රීඩකයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් විවිධ වෙ‍ෙළඳ දැන්වීම්වලට පෙනී සිටින්නා සේ තමන්ද එම දේශනයට පෙනී සිටි බවය. එතනින් එහාට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් මේ නිසා බොහෝ ග්‍රාමීය ජනතාව විශාල මුදලක් අහිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT