නායක කුසල් දෙවැනි වරටත් අසාර්ථක වෙද්දී තරගයේ වීරයා සම්මානය සධීරට
දිගින් දිගටම ලද ක්‍රිකට් පරාජයේ නියඟය නිමා කරමින් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කරයි. පිට පිට එක්දින තරග 4ක් පරාජයවීමෙන් පසු ශ්‍රී ලංකාව ලැබූ මේ ජයග්‍රහණය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තුනකට පසු ලැබූ පළමු ජයග්‍රහණය ලෙස වාර්තා විය. ලක්නව් භාරත් රත්න ශ්‍රී අතාල් බිහාරි වජ්පායි එකානා ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවති තරගයේ කාසියේ වාසිය දිනා නෙදර්ලන්තය මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට ඕවර 49.4කදී ලකුණු 262ක් රැස කළ අතර, ශ්‍රී ලංකාව පන්දු 10ක් ඉතිරිව තිබියදී අවශ්‍ය ඉලක්කය පසුකොට කඩුලු 5ක පහසු ජයක් වාර්තා කළේය.
ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු 5කට දැවී ගිය අතර, නායකත්වයට පත්වූ පසු කුසල් මෙන්ඩිස් දෙවැනි වරටත් අසාර්ථක වෙමින් ලකුණු 11කට දැවී ගියේය. මුල් කඩුලු දෙක අඩු ලකුණු ගණනකට දැවීගොස් තිබියදී පැතුම් නිශ්ශංක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට වාර්තා කළ තෙවැනි අර්ධ ශතකය සටහන් කරමින් පන්දු 52කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 54ක් වාර්තා කළේය. එය ඔහුගේ 12 වැනි අන්තර්ජාතික එක්දින අර්ධ ශතකය විය.
සධීර සමරවික්‍රම තම එක්දින දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 106කදී හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 91ක් ලබා ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. චරිත් අසලංක පන්දු 66කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 44ක් ලබා සිවුවැනි කඩුල්ලට සධීර සමඟ එක්ව පන්දු 99කදී ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත්වීම තරගයේ හැරවුම් ලක්ෂය විය. ධනංජය – සධීර පස්වැනි කඩුල්ලට පන්දු 85කදී ලකුණු 76ක සම්බන්ධතාවක් ඇති කළ අතර, ධනංජය පන්දු 37කදී දැවැන්ත හයේ පහර දෙකක් හා හතරේ පහරක් සමඟ ලකුණු 30ක් එක් කළේය. මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකාව අතිරේක ලකුණු වැඩි වශයෙන් ප්‍රතිවාදී කණ්ඩායම්වලට ලබාදීමේ කැපී පෙනෙණ තත්ත්වයක සිටින අතර, පෙරේදා තරගයේදී නෙදර්ලන්තයට අතිරේක ලකුණු 33ක් ලබා දුන්නේය.
දිවා තරගයක් ලෙස පැවති ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ නෙදර්ලන්ත මුල් කඩුලු 6ක් ලකුණු 91කට බිඳ වැටී තිබියදී අංක 7 පිතිකරු එන්ගල්බ්‍රෙච්ට් හා අංක 8 පිතිකරු වෑන් බීක් යන දෙදෙනා පන්දු 143කදී හත්වැනි කඩුල්ලට ලකුණු 130ක සම්බන්ධතාවක් ගොඩනඟා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වූහ. මේ සබඳතාව බිඳ දමා ගැනීමට නායක කුසල් මෙන්ඩිස් උපක්‍රමශීලී නොවීමෙන් සැලකියයුතු ලකුණු ගණනක් නෙදර්ලන්තයට එක්කර ගත්තේය.
මෙවර ලෝක කුසලානයේ වැඩිම දෙවැනි කඩුලු ලාභියා වූ ජස්ප්‍රිට් බුම්රා සමඟ සමාන වූ වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ මේ තරගයේදී දවාගත් කඩුලු 4 සමඟින් මෙවර ලෝක කුසලාන කඩුලු 9ක් බිඳ හෙළා ගත් අතර, බස් ඩී ලීඩ්ස් හා ටේජා නිදමුනාරූ යන පිතිකරුවන් දෙදෙනාම ලකුණු 3ක් තුළ ක්‍රීඩාගාරයට යැවීමට හෙතෙම සමත් විය.
පළමු කඩුල්ල ලකුණු 7දී බිඳ වැටුණු අතර, කසුන් රාජිතගේ පන්දුවක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව වික්‍රමාජිත් සිං ලකුණු 4කට දැවී ගියේය. අනතුරුව මැක්ස් ඕ ඩොවුඩ් ලකුණු 16ක් ලබාදී සිටියදී රාජිත එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවීගිය අතර, කොලින් ඇකර්මන් කඩුලු රකින කුසල් අතට උඩ පන්දුවක්දී ලකුණු 29කට දවා ගැනීමට යළි ක්‍රියාත්මකවූ රාජිත සමත් විය.
තරගයේ වීරයා සම්මානය සධීර සමරවික්‍රමට හිමිවිය.
ජයග්‍රාහී මාවතේ ඉදිරියටම යනවා
ශ්‍රී ලංකා පිලට තදබල අවශ්‍යතාවක් තිබුණේ තරගයක් ජයග්‍රහණය කිරීමට බවත්, දැන් ඉදිරියේදී ලැබෙන සෑම තරගයක්ම වැදගත් තරග ලෙස හොඳින් අවධාරණය කොට ජයග්‍රාහී මාවතේ ඉදිරියට ගමන් කළ යුතු බවත් නෙදර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 91ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනූ සධීර සමරවික්‍රම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
“ඉදිරි තරගවලදී වැරදි කරන්න කිසිම ඉඩක් අපට නෑ. කණ්ඩායමක් ලෙස එකමුතුවී හරි තීරණගෙන ඉදිරි ජයග්‍රහණ පිළිබඳ සැලසුම හදාගත යුතුයි. සියලු ක්‍රීඩකයන් සියයට සියයක්ම ඉදිරි තරගවලදී ලබාදීලා ක්‍රීඩා කළ යුතු තත්ත්වයක් නිර්මාණයවෙලා තියෙනවා. අපට ජයග්‍රහණයක් අවශ්‍යව තිබූ නිසා මගේ ශතකය පිළිබඳ කල්පනා කළේ නෑ. අවසන් මොහොත දක්වාම ජයග්‍රහණය පිළිබඳ කල්පනා කළා” සධීර සමරවික්‍රම පැවසීය.
“ඕනෑම පිතිකරුවකුට ලකුණු 100ක් නොලැබීම අවාසනාවන්ත දෙයක්. නමුත් මා ලබාගත් ලකුණු 91ක ගැන සතුටු වෙනවා. පසුගිය කාලයේ මා ගොඩක් මහන්සිවී පුහුණුවීම් කළා. ඒ නිසයි මේ වගේ ඉනිමක් ගොඩ නගන්න හැකියාව ලැබුණේ. නෙදර්ලන්ත පන්දු යවන්නන්ට තණතිල්ලේ සහයෝගය තිබුණා. ඉක්මණින් තරගය ජය ගන්න අමාරු වුණේ ඒ නිසයි. අපේ ඉනිම මැදදී ඔවුන්ගේ පන්දු යවන්නන් හොඳින් තරගයට පිවිසුණා” සධීර සඳහන් කළේය.
ප්‍රින්ස් ගුණසේකර
ඉන්දියාවේ
ලක්නව් සිට…