Home » මිචෙල්ගේ ශතකය කෝලිගේ ඉනිමට යට වෙයි අපරාජිතයන්ගේ සටනේ ජය ඉන්දියාවට

මිචෙල්ගේ ශතකය කෝලිගේ ඉනිමට යට වෙයි අපරාජිතයන්ගේ සටනේ ජය ඉන්දියාවට

by gayan
October 23, 2023 1:05 am 0 comment

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන්ගේ සටන බවට පත්වූ නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගය කඩුලු 4කින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව ඊයේ සමත් විය.

මේ සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත් ඉන්දියාව ලකුණු 10ක් හිමි කර ගනිද්දී තරග 4ක් අපරාජිතව සිටි නවසීලන්තයට පළමු පරාජය අත්වීම හේතුවෙන් දෙවැනි ස්ථානයට වැටිණි.

තරගාවලියේ 21 වැනි තරගය ලෙස ධරම්සාලාහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් නවසීලන්තය දුන් ලකුණු 273ක ඉලක්කය හඹා ගිය ඉන්දියාව ඕවර 48කදී ජය හිමි කර ගත්තේ කඩුලු 6ක් දැවී තිබියදීය.

ඉන්දීය පිළිතුරු ඉනිමේ ලකුණු 76ක් වෙද්දී ආරම්භ පිතිකරුවන් දෙදෙනා දැවී යෑමෙන් අනතුරුව අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි විරාට් කෝලි අර්ධ ශතක සබඳතා 3ක් ගොඩනඟමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ශ්‍රේයාස් අයියර් (33) සමඟ තෙවැනි කඩුල්ල ලකුණු 52ක්, ලෝකේෂ් රාහුල් (27) සමඟින් සිවුවැනි කඩුල්ල ලකුණු 54ක් එක් කළ කෝලි 6 වැනි කඩුල්ලට රවීන්ද්‍ර ජඩේජා සමඟින් ගොඩනැඟූ සබඳතාව ලකුණු 78කි.

ඊයේ 49 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ කෝලි පන්දු 104කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 95ක් රැස් කළ අතර, ජඩේජා නොදැවී ලකුණු 39ක් රැස් කළේය.

ඉන්දීය පිළිතුරු ඉනිම අතරතුර ඝන මීදුමක් හේතුවෙන් තරගය මිනිත්තු 20කට ආසන්න කාලයක් නතර කිරීමට සිදු විය.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 19ක් වෙද්දී යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුවද තෙවැනි කඩුල්ලට පිටියේ එක් වූ රචින් රවීන්ද්‍ර සහ ඩැරල් මිචෙල් පන්දු 152කින් ලකුණු 159ක සබඳතාවකින් ඉනිම ගොඩනැඟීමට සමත් වූහ.

මුළු ලකුණු 178දී එම සබඳතාව බිඳ වැටුණේ රවීන්ද්‍ර ලකුණු 75කට දැවී යෑමත් සමඟිනි. පන්දු 87කට මුහුණ දුන් ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි. එම සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව කිසිදු පිතිකරු යුගලකට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාවක් නොදුන් අතර, එක් අන්තයක් රැක ගත් මිචෙල් සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කරමින් කණ්ඩායම ලකුණු 273 දක්වා ඉදිරියට ගෙන ගියේය.

ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලකුණු 130ක් රැස් කර තිබුණේ පන්දු 127කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟිනි.

ග්ලේන් පිලිප්ස් ලකුණු 23ක් රැස් කළ අතර, මේ පිතිකරුවන් තිදෙනා හැර වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී මොහොමඩ් ශාමි කඩුලු 5ක් බිඳ දැමූ අතර, කුල්දීප් යාදව් කඩුලු 2ක් දවා ගත්තේය.

නවසීලන්තය – 273 (ඕවර 50) ඩැරල් මිචෙල් 130, රචින් රවීන්ද්‍ර 75 (මොහොමඩ් ශාමි 54/5, කුල්දීප් යාදව් 73/2)

ඉන්දියාව – 274/6 (ඕවර 48) විරාට් කෝලි 95, රෝහිත් ෂර්මා 46 (ලොකී ෆර්ගියුසන් 63/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT