Home » දකුණු අප්‍රිකාව-නවසීලන්තය රග්බි ලෝක කුසලාන අවසන් සටනට

දකුණු අප්‍රිකාව-නවසීලන්තය රග්බි ලෝක කුසලාන අවසන් සටනට

by gayan
October 23, 2023 1:00 am 0 comment

ප්‍රංශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලයේ අවසන් තරගයේ ස්ථාන වෙන් කර ගැනීමට දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය සමත් විය.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තියුණු සටනකින් අනතුරුව ලකුණු 16-15ක් ලෙස ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිවය.

මේ තරගයේ මුල සිටම පාලනය එංගලන්තය ක්‍රීඩකයන් සතු වූ අතර, පළමු භාගය නිමා වූයේ ලකුණු 12-6ක් ලෙස එංගලන්තය පෙරමුණේ තබමිණි.

කෙසේ වෙතත් දෙවැනි භාගයේ 69 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ ආර්.ජී. ස්නයිමන් සමත් වූ අතර, 70 වැනි මිනිත්තුවේදී හන්ඩ්‍රෙ පොලාර්ඩ් ප්‍රවර්තනයක් සාර්ථක කරමින් දකුණු අප්‍රිකාව පෙරමුණට ගෙන ගියේය. මේ තරගයේ 21 සහ 35 වැනි මිනිත්තුවලදී දඬුවම් පහර 2ක් සාර්ථක කර ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සමත්ව තිබිණි.

එංගලන්තය වෙනුවෙන් වාර්තා වූ සියලු ලකුණු ඔවෙන් ෆැරල් විසින් වාර්තා කර තිබිණි. තරගයේ 3, 10, 24 සහ 39 වැනි මිනිත්තුවලදී දඬුවම් පහර සාර්ථක කර ගත් ෆැරල් 54 වැනි මිනිත්තුවේදී ඩ්‍රොප් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. මේ අතර පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය ලකුණු 44-6ක් ලෙස පහසුවෙන්ම ආජන්ටිනාව පරාජය කිරීමට සමත් විය. තරගයේ මුල සිටම ආධිපත්‍ය පැතිරවූ ප්‍රබල නවසීලන්තය පළමු භාගය නිමා කළේ ලකුණු 20-6ක් ලෙස පෙරමුණ ගනිමිනි.

මේ තරගයේදී නවසීලන්තය උත්සාහක දිනුම් 7ක්, ප්‍රවර්තන 3ක් සහ දඬුවම් පහරකින් ලකුණු රැස් කර ගත් අතර, ආජන්ටිනාවට එක් කර ගත හැකි වූයේ දඬුවම් පහර 2ක් පමණි. මේ තරගාවලියේ අවසන් මහා තරගය මේ 29 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 12.30ට නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වේ. අවසන් පූර්ව වටයේ දී පරාජය වූ ආජන්ටිනාව සහ එංගලන්තය තෙවැනි ස්ථානය වෙනුවෙන් 28 වැනිදා අලුයම 12.30ට තරග වැදීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT