පාසල් පවත්වාගෙන යෑමේ තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
රත්නපුර- බදුල්ල-මාතර පවුල් 147ක පුද්ගලයෝ 560ක් ආරක්ෂිත ස්ථාන අටක රඳවති
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කට නායයෑම් පිළිබඳ අවධානය යොමු කිරීමේ දෙවැනි අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවාන, වලස්මුල්ල, මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, පස්ගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, පිටබැද්දර, කිරින්ද පුහුල්වැල්ල, මුලටියන, හක්මන, වැලිපිටිය, කොටපොළ, මාතර කඩවත් සතර, අතුරලිය, මාලිම්බඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, රත්නපුර, ගොඩකවෙල, කලවාන, කුරුවිට, ඕපනායක, කොළොන්න, ඇහැලියගොඩ, වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඒ අනුව අද (24) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදී ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් මේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. එමෙන්ම බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන්හි තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා නායයාම් පිළිබඳව විමසිලිමත්වීමේ පළමු අදියරේ අනතුරු ඇඟවීම කර තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් කොළොන්න, දඩයම් කන්ද, කුඩගලහේන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 19 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබේ. දකුණේ ඇතැම් පාසල් ඊයේ වසා දැමීමට පියවර ගෙන තිබුණි.එමෙන්ම පාසල් පවත්වාගෙන යාම පිළිබඳව අවසන් තීරණ ගැනීම පළාත් අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා තිබිණ. පහත්බිම් සහ මාර්ග ගණනාවක් ජලයෙන් යටවීම නිසා ජන ජීවිතයට බාධා ඇතිවිය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ(23) පෙරවරු 9.00 ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සඳහන් වන්නේ රත්නපුර, බදුල්ල, මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන අටක පවුල් 147ක පුද්ගලයන් 560ක් සිටින බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, පස්සර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පුද්ගලයන් 455ක් ඒ අතරට අයත් වේ. කළු, ගිං, නිල්වලා ගංඟාවල සහ අත්නගලු ඔයේ ජල මට්ටම් ඇතැම් ස්ථානවලින් ඊයේ(23) දහවල් වන විට අවධානය යොමු කළයුතු මට්ටමක පැවතිණි. වාරිමාර්ග අධ්‍යක්ෂ( ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව) ඉංජිනේරු එස්.පී.සී සුගීස්වර මහතා මෙසේ කීය.
පෙරේදා(22) රාත්‍රීයේ නිල්වලා ගං ද්‍රෝණියේ ඉහළ ධාරා සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මි.මී 100කට අධික වර්ෂාවක් ඇතිවුණා. ඒ නිසා එම ගංගාවේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ගංඟා නිම්නයට අයත් පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් නැවත ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ඌරුබොකු ඔය ධාරා ප්‍රදේශවලට 22 දින රාත්‍රීයේ ඇතිවු අධික වර්ෂා තත්ත්වය නිසා කටුවන නගරයේ ඇතැම් ප්‍රදේශ ගංවතුර තර්ජනයට ලක් වුණා. කිරම ඔය ඉහළ පිහිටි කැකිරියබඩ ජලාශය වාන් දැමීම සිදුවුවහොත් කිරම ඔය අධික ජල ගලනයකට පත්විය හැකියි. වලස්මුල්ල, බෙලිඅත්ත, ඕකේවෙල, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල එය දෙපස පදිංචි ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. කුරුණෑගල දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා. දිවයින පුරා තවත් ජලාශ කීපයක් වාන් දමනවා. ඒවා පහළ ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. සමස්තයක් ලෙස දිවයිනේ වාරි ජලාශවල ජල ධාරිතාව 40%ක මට්ටම ඉක්මවා තිබෙනවා. එමෙන්ම කඳුකර ප්‍රදේශවලට අධික වර්ෂා තත්ත්වයකදී අතු ගංඟාවන්, දිය කඳුරුවල අධික ජල ගලනයක් ඇතිවිය හැකියි. විනෝද චාරිකා සඳහා ගමන් ගන්නා පුද්ගලයන් මෙන්ම, ඒවා භාවිතා කරන්නන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
දිවයිනේ බොහෝ පළාත්වල අද(24) දිනයේද තැනින් තැන පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහික වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසිය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල අද උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළේය. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක. පසුගිය දින වල පැවැති තද වැසි තත්ත්වයට සාපේක්ෂව යම් අඩුවීමක් පවතින බවද ඔහු සඳහන් කළේය. මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සමහර ස්ථානවල අද උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් පැවතිය හැකිය. පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඊයේ (23) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළදී උපරිම වර්ෂාපතනය මත්තලට ලැබී තිබිණ. එය මි.මී 161.5 කි. මධ්‍ය- බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා ඊයේ (23) පස්වරුව වන විට වර්ධනය වී තිබිණ. එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙයි. එහි බලපෑමට ලක්වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
උපාලි කරුණාරත්න