ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා සැලකිය යුතු පියවරක් ලෙස පවතින අපනයන උපාය මාර්ගික සැලැස්ම (ජාතික අපනයන උපාය මාර්ගය 2018-2022) යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙහෙයවන මේ වැඩපිළිවෙළ සඳහා ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයෙන් (ITC) තාක්ෂණික සහාය ගෙන ඇත.
ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ (ITC) වෙළෙඳ උපාය මාර්ග සහ තරගකාරීත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරී චාල්ස් රොබර්ජ් මහතා මෙහි කටයුතු සඳහා පසුගිය 16 වැනිදා සිට 18 වැනිදා දක්වා මෙරට සංචාරය කළ අතර, එහිදී ITC ජ්‍යෙෂ්ඨ නිලධාරියාට රජයේ සංගම්, මණ්ඩල, උපදේශක කමිටු සහ ප්‍රතිපත්ති සම්පාදකයන් හමුවී සාකච්ජා කිරීමට ද අවස්ථාව ලැබුණු බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
තොරතුරු තාක්ෂණය, සැකසූ ආහාර සහ පාන වර්ග, විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, බෝට්ටු ගොඩනැඟීම, සුවතා සංචාරක ව්‍යාපාරය, කුළුබඩු සහ සාන්ද්‍රණය යන ප්‍රධාන අංශ හයක් සංවර්ධනය සඳහා හඳුනාගැනීමත් සමඟ ජාතික අපනයන උපාය මාර්ගය සකස් කිරීමට 2017දී අවකාශය හිමි විය. නැඟී එන නිෂ්පාදන සහ සේවා අංශ ශක්තිමත් කිරීමට පහසුකම් සපයන මේ උපාය මාර්ගික සැලැස්ම, අපනයන විවිධාංගීකරණය කිරීම සහ පරිණත නිෂ්පාදන අංශවල තිරසර බව සහතික කිරීම ද අරමුණු කර ඇත.
එම සැලැස්ම 2018-2022 කාලසීමාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කළ අතර, එය මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
ඒ අනුව ජාතික අපනයන උපාය මාර්ග සැලැස්මේ වර්තමාන මුලපිරීම් මඟින් අපේක්ෂා කරන්නේ සමකාලීන වෙළෙඳ පොළ අභියෝග සමඟ සමපාත කිරීමට සහ නැඟී එන අවස්ථා උපයෝගී කර ගනිමින් වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස රටෙහි සංවර්ධන ක්‍රියාවලිය වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් වේගවත් කිරීමයි. එය අපනයන සංවර්ධනය සඳහා මෙරට ඉදිරි මාර්ග සිතියම වනු ඇති අතර, ජාතික අපනයන උපාය මාර්ග සැලැස්ම ක්‍රියාත්මක කරන සියලුම ආයතන පූර්ණ කැපවීමෙන් තම වගකීම් ක්‍රියාත්මක කළ යුතුය.
මහින්ද අලුත්ගෙදර