Home » සමාගම් හිමිකරුගේ සහ ඔහුගේ බිරියගේ මානසික වෛද්‍ය වාර්තා කැඳවන්න
සේවිකාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය

සමාගම් හිමිකරුගේ සහ ඔහුගේ බිරියගේ මානසික වෛද්‍ය වාර්තා කැඳවන්න

වැලිසර මහේස්ත්‍රාත් නියෝග කරයි

by mahesh
October 25, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

තම ආයතනයේ සේවය කරන කාර්යාල සේවිකාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළ සමාගම් හිමිකරු සහ ඔහුගේ බිරියගේ මානසික වෛද්‍ය වාර්තා කැඳවන ලෙස වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය.

පසුගිය දා සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවෙහි සඳහන් අදාළ පහර දීම සිදු කළ කඳාන ‘කේ.ඩී.’ එක්ස්ප්‍රස් කුරියර් සර්විස් ආයතනයේ හිමිකරු වන කසුන් මධුෂංක සහ ඔහුගේ බිරිය වන ප්‍රහර්ෂණී අරුණැලී යන අයගේ මානසික වෛද්‍ය වාර්තා මෙලෙස කැඳවන ලෙස නියම කෙරිණ. ඒ අනුව සැකකාර යුවළ රාගම රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණ.

සාමන්‍ය පුද්ගලයකු කටයුතු කරන ආකාරයට නොව අමානුෂික ආකාරයෙන් සැකකරු එම කාර්යාල සේවිකාවට පහර දෙන බැවින් අදාළ යුවළගේ මානසික තත්ත්වය පරීක්‍ෂා කිරීමට නියම කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා මහතා කළ ඉල්ලීමකට අවසර දෙමින් මෙම නියෝගය කරන ලදි. අදාළ කාර්යාල සේවිකාවට අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර යුවළ පසුගිය 16 වැනිදා වැලිසර වැඩබලන මහේස්ත්‍රාත් දිනුෂි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඔවුන් රුපියල් ලක්‍ෂ 02 බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියම කර තිබුණි. මෙම පැමිණිල්ල වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර යුවළ අධිකරණයේ පෙනී සිටියහ. එහිදී අධිකරණයේ පෙනී සිටි කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා එම පහරදීමේ සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරුවන් කාර්යාල සේවිකාවට පහර දෙන අයුරූ දැක්වෙන සීසීටීවී දර්ශන පරීක්‍ෂා කළ බව කීය.

ඔවුන් සාමාන්‍ය පුද්ගලයකු කටයුතු කරන ආකාරයට කටයුතු නොකරන බව එම සීසීටීවී දර්ශන නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යන බැවින් සැකකාර යුවළ මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඔවුන්ගේ මානසික තත්ත්වය පරීක්‍ෂා කර වාර්තාවක් ලබා ගැනීමට නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර යුවළ රාගම රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඔවුන්ගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සැකකාර යුවළගේ ඇපකරුවන්ට නියම කළේය. මෙම පැමිණිල්ල නොවැම්බර් 27 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණ.

සැකකාර යුවළගේ මානසික වෛද්‍ය වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT