Home » බෝම්බ පිපිරීම සිදු කළේ 616 කාමරයේ නතරව සිටි දෙදෙනා බව හඳුනාගත්තා
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය

බෝම්බ පිපිරීම සිදු කළේ 616 කාමරයේ නතරව සිටි දෙදෙනා බව හඳුනාගත්තා

ෂැංග්‍රිලා හෝටලයේ සහකාර ආරක්ෂක කළමනාකරු

by mahesh
October 25, 2023 1:00 am 0 comment

චන්දන ජයවීර

බෝම්බ පිපිරීම සිදු කළේ 616 වැනි කාමරයේ නතරව සිටි දෙදෙනා බව සීසීටීවී දර්ශන මඟින් හඳුනාගත් බව කොළඹ මහාධිකරණය ඉදිරියේ සාක්කි දෙමින් ෂැංග්‍රිලා හෝටලයේ සහකාර ආරක්ෂක කළමනාකාරවරයා ඊයේ (24) පැවසීය.

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති), අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ ඊයේ නඩුව විභාගයට ගැනුණි.

2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා ෂැංග්‍රිලා ඇතුළු සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ 2021 වසරේ අගෝස්තු 10දා නීතිපතිවරයා විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව අධි චෝදනා භාර දෙන ලදී. නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මිය ගොස් ඇති බව පසුව අනාවරණය විය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශක්ති ජාගොඩ ආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් පැමිණිල්ලේ සාක්ෂිකරු මෙසේ කීවේය.

2017 සැප්තැම්බර් මස කොළඹ ෂැංග්‍රිලා හෝටලය විවෘත කළ පසු එහි ආරම්භ සේවක කණ්ඩායමට මාද අයත් වුණා.

හෝටලයේ ආරක්ෂාව සඳහා අභ්‍යන්තර ආරක්ෂක නිලධාරීන් මෙන්ම ඇවන්ගාඩ් හා ෂිල්ඩ්බර්ඩ් යන ආරක්ෂක ආයතනවල නිලධාරීන් ද අනුයුක්තව සිටියා.

ඒ වන විට ආරක්ෂක නිලධාරීන්ට මූලිකව පැවරී තිබුණේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර සැකකටයුතු යමක් දුටුවොත් කළමනාකාරීත්වයට දැනුම්දීම, සේවකයන්ගේ බෑග් පරීක්ෂාව හා රථවාහන මෙහෙයවීම වැනි දේවල්.

අමුත්තන්ගේ ගමන් මළු පරීක්ෂා කරන අධිතාක්ෂණික උපකරණ ඒ වන විට හෝටලයේ සවිකර තිබුණේ නැහැ.

අමුත්තන්ගේ කාමරවල දොරවල් විවෘත කිරීමට හා අගුලු ලෑමට යතුරු කාඩ්පතක් භාවිත කළ යුතු වුණා. අමුත්තකු ලියාපදිංචි වූ විට ඔහුට මේ යතුරු කාඩ්පත දෙනවා. යතුරු කාඩ්පත භාවිතයෙන් තොරව කාමරයක් විවෘත කරන්න බැහැ.

යම් තැනැත්තකු කාමරයකට ඇතුළු වීමට හෝ පිටවීමට යතුරු කාඩ්පත භාවිත කරන සෑම අවස්ථාවකම එය භාවිත කළ දිනය, වේලාව යනාදී තොරතුරු වෙනම පද්ධතියක සටහන් වෙනවා. ඒ තොරතුරු ලැප්ටොප් පරිගණකය මගින් මට නිරීක්ෂණය කළ හැකිව තිබුණා.

බෝම්බ පිපිරීමෙන් පසු කැමරා බලන විට එයට 6 වැනි මහලේ පිහිටි 616 කාමරයේ නැවති සිටි අමුත්තන් සම්බන්ධ බවට මට සැක සිතුණා. මා ඒ බව විමර්ශන නිලධාරීන්ට කිව්වා. එම කාමරයේ අන්තරාදායක දේවල් තිබේදැයි දැන ගැනීමට ඔවුන්ට එය පරීක්ෂා කිරීමට වුවමනාව තිබුණා. නමුත් එහි යතුරු කාඩ්පත නොතිබුණු නිසා මා සතුව තිබුණු යතුරු කාඩ් පතින් එම කාමරය විවෘත කළා. මේ සියලු දත්ත පද්ධතියේ සටහන්ව තිබෙනවා. මගේ කාඩ් පතින් කාමරය විවෘත කළ අවස්ථාව සේවක කාඩ්පතින් කාමරය විවෘත කළ අවස්ථාවක් ලෙස පද්ධතියේ සටහන්ව තිබෙනවා යැයි කීය.

අනතුරුව සාක්ෂිකරුට 6 වැනි මහලේ සීසීටීවී දර්ශන පෙන්වන ලද අතර ඔහු එය 6 වැනි මහලේ 616 කාමරය අසල දර්ශන ලෙස හඳුනා ගන්නා ලදී. ඉන්පසු රජයේ නීතිඥවරයා අදාළ කාමරය විවෘත කිරීමට අදාළ දත්ත සටහන පෙන්වන ලද අතර ඊට සමගාමී වේලාවන් සාක්ෂිකරු කියා සිටියේය.

අපේ සීසීටීවී පද්ධතියේ තිබුණු බෝහෝ කැමරාවල දර්ශන පටිගතව තිබෙන්නේ දින 30ක් සඳහා පමණයි. මෙයට අමතරව දින 60 හා දින 90ක් දර්ශන ගබඩා කර තබාගත හැකි කැමරා සවි කළ ස්ථාන ද තිබුණා.

බෝම්බ පිපිරීමෙන් පසු මේ දත්ත සංරක්ෂණය කර තබා ගැනීමේ වැදගත්කම ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය වටහා ගත්තා. දත්ත ආරක්ෂා කර ගැනීමට නම් ඒවා ගබඩාව ඇති සර්වර් පද්ධතියෙන් ඉවත්කර අලුත් සර්වර් සවිකළ යුතු වුණා. ආයතනය ඒ තීරණය ගෙන සර්වරය ඉවත් කිරීමට පද්ධතිය සවි කළ එක්ස්ෆෝලංකා ආයතනයටම භාර දුන්නා. අප මේ දක්වා එම සර්වරය සුරක්ෂිතව තබා ගෙන සිටිනවා. යැයිද සාක්කිකරු පැවසීය.

මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සභාපති විනිසුරු සාක්ෂිකරු‍ට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, ශක්ති ජාගොඩ ආරච්චි මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

අගතියට පත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් සිල්වා ඇතුළු නීතිඥයන් පිරිසක් පෙනී සිටී. අගතියට පත් තවත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, රුෂ්ඩි හබීබ්, ගසාලි හුසේන්, අසඩ් මුස්තාපා, ඉමිටියාස් වහාබ්, රිස්වාන් උවයිස්, වසීම් අක්‍රම්, ඉසුරු දේවප්‍රිය, නදීශා කන්නන්ගර ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති.

වැඩිදුර විභාගය අද (25දා)ට කල් තබන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT