අපනයන වෙළෙඳපොළ සඳහා අත්වැසුම් නිෂ්පාදන කම්හලක් මෙරට ආරම්භ කිරීමට කොරියානු සමාගමක් ඉදිරිපත්ව සිටී.
රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර තිහකට වැඩි අත්දැකීම් ඇති කොරියානු සමාගමක් වන Salus Safety Robotics Pvt Ltd සමාගම විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගත් නව රබර් අත්වැසුම් නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළැඹ තිබේ.
අදාළ ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ Salus Safety Robotics සමාගමේ සභාපති එච්. කේ. ෂින් මහත්වරුන් අත්සන් කර තිබෙන අතර, Salus Safety Robotics සමාගම දූනගහ ප්‍රදේශයේ අක්කර 3ක භූමි භාගයක ඉදි කරයි.
මේ සමාගම මෙරට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟම මුල් අදියරේදී සෘජු රැකියා 30ක් පමණ ජනිත වන අතර, නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ද යම් ප්‍රමාණයක් දේශීය වශයෙන් මිල ගන්නා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා පවසයි.
මෙහිදී කොරියානු සමාගම නිෂ්පාදනයේදී භාවිත කරන ස්වයංක්‍රීය ඩිජිටල් තාක්ෂණ නූතන පරිගණක දත්ත මත පදනම් වූ නව නිෂ්පාදන ක්‍රමවේද මෙරට තරුණයන්ට ගැනීමට හැකිවීමත්, ලොව ඉහළම තාක්ෂණයෙන් සමන්විත යන්ත්‍රසූත්‍ර භාවිතයට අවස්ථාව හිමිවීමත් වඩා වැදගත් බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
Salus Safety Robotics සමාගමේ සභාපති එච්. කේ. ෂින් මහතා අදහස් දක්වමින් කියා සිටියේ මාස 06ක් ඇතුළත නිෂ්පාදන අපනයනය කිරීමට අපේක්ෂා කරන බවත්, මේ වන විට ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත්,. මුල් අදියරේදී වසරකට අඩි 40 දිග බහාලුම් 50කට වැඩි ප්‍රමාණයක් අපනයන කිරීමට අපේක්ෂා කරන බවත්, පකිස්තානය, බංගලාදේශ, ඉන්දියාව සහ යුරෝපා රටවලට මේ අපනයන සිදු කරන බවත්ය.