විවාහ වී මාසයක් ඉක්ම යෑමටත් පෙර සිය බිරිය මරා නිවස අසලම වළ දමන ලද මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ සැමියා පොලීසිය විසින් පෙරේදා (24) කොළඹදී අත් අඩංගුවට ගෙන තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි වාප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.ගීතා නැමති කාන්තාව මරා නිවස අසලම වළදමා තිබියදී මුල්ලියාවලෙයි පොලීසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් මියගිය කාන්තාවගේ මළ සිරුර ගොඩගෙන තිබේ.
මේ කාන්තාව මීට සති තුනකට පමණ ඉහතදී මුලතිව් කුමරපුරම් ප්‍රදේශයේ තරුණයකු සමඟ විවාහ වී දින කීපයකට පසුව කුලී පදනම මත ලබා ගත් නිවසක පදිංචියට පැමිණ තිබේ.
එදා සිට ඇය සිය මවට දුරකතනයෙන් දිනපතාම කතා කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගොස් ඇතත් මේ මස 21 වැනිදායින් පසු මවට ඇගෙන් කිසිදු ඇමතුමක් ලැබී නැත.
මව විසින් දුරකතන අමතුම් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම ඇගේ දුරකතනය විසන්ධි වී තිබීම නිසා මව ඇය බැලීමට කුලී නිවස වෙත ගොස් තිබේ.

සිරුර ගොඩ ගත් අවස්ථාව
ඒ අවස්ථාවේදී නිවසේ කීසිවකු සිට නැති අතර මව ඒ අවට සෝදීසි කිරීමේදී අලුතින් කපන ලද වළක් පස්වලින් වසා දමා තිබෙනු දැක ඇත.
මේ සිද්ධිය ගැන සැක සිතු මව මුල්ලියාවලෙයි පොලිසියට මේ බව පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ වළ පරීක්ෂා කිරීමේදී මරා වළ දමන ලද කාන්තාවගේ මළ සිරුර හමු වී තිබේ. මේ සම්බන්ධයෙන් පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් පසු සැමියා අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබේ.
ඒ වන විට කොළඹ වැල්ලම්පිටියට ගොස් සිටි සැමියා මුල්ලියාවලෙයි පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුව රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ලබා ගත් රැඳවුම් නියෝගයක් මත මුල්ලියාවලෙයි පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.