අනුරපුර කිරිවලින් කප් ගැසූ එළදෙනත් මස් කරලා
කිරිගව සොරකම්වලට පනවන දඩය රුපියල් මිලියනය (ලක්ෂ 10) දක්වා ඉහළ නැංවීමට සැලසුම් කෙරේ.
මේ වන විට කිරි ගව සොරකම් සිද්ධීන් ඉහළ යමින් තිබෙන අතර, දැනට ක්‍රියාත්මක සත්ත්ව සුබසාධන පනත යටතේ ඒ සඳහා පැනවෙන උපරිම දඩය රුපියල් 50,000කි. ඒ හැර සෙසු සිරදඬුවම් පැනවීමක් ගැන සඳහන් නොවේ.
මේ පිළිබඳ අවධානය යොමු කළ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කිරිගව සොරකම් සම්බන්ධයෙන් දඩය රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දමන ලෙසත් අඩු තරමින් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් පැනවීම සඳහා වගන්ති ඇතුළත් කර සත්ත්ව සුබසාධන පනත සංශෝධනය කරන ලෙසත් පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
සත්ත්ව සුබසාධන පනත නව සංශෝධන සම්බන්ධව සාකච්ඡාවක් ද පෙරේදා (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ඉල්ලීමක් පරිදි සත්ත්ව සුබසාධන සංගම් නියෝජිතයෝ පිරිසක් ද එයට එක්වී සිටියහ. මෙම සාකච්ඡාවේදී කිරි ගව සොරකම් ඉහළ යෑම හා කිරි ගව සොරුන්ට ලබා දෙන දඬුවම් සම්බන්ධව වගන්ති සඳහා නව සංශෝධන ඇතුළත් කළ යුතු බව ඇමැති අමරවීර මහතා පෙන්වා දුන්නේය.
දිනකට කිරි ලීටර 26ක් බැගින් මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා දුන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළදෙන ද පසුගිය සතියේ සොරකම් කර මරා දමා ඇති බව සඳහන් කළ ඇමැතිවරයා අවස්ථා ගණනාවකදී ගව සොරකම් මර්දනය සඳහා පියවර ගන්නැයි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළ බව ද මෙම සාකච්ඡාවේදී පැවැසීය. අප රටේ වැඩිම ගව සොරකම් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
බුද්ධිකා ඉඹුලාන