Home » ඖෂධ හිඟ බිල්පත් ගෙවීමට කඩිනමින් මුදල්

ඖෂධ හිඟ බිල්පත් ගෙවීමට කඩිනමින් මුදල්

by chanaka
October 26, 2023 4:31 pm 0 comment

ඖෂධ මිල දී ගැනීම් වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විවිධ සැපයුම්කරුවන් වෙත ගෙවීම ඇති හිඟ මුදල් පියවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව හරහා මුදල් වෙන් කිරීමට තීරණය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට අතැති බිල්පත්වලට අමතරව වසර ගණනක් තිස්සේ ඉදිරියට පැමිණෙමින් ඇති හිඟ බිල්පත් ද එම සංස්ථාව සතුව ඇති බවයි.

රාජ්‍ය බැංකුවක් මගින් මේ සඳහා වන ණය පහසුකමක් ලබා ගැනීමේ හැකියාව සොයා බලන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් බවයි.

මුදල් අමාත්‍යාංශයේ අද (26) පැවැති විශේෂ සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණ විය.

ඖෂධ මිල දී ගැනීම, හිඟ බිල්පත් ගෙවීම වැනි අත්‍යාවශ්‍ය සෞඛ්‍ය වියදම් සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව මුදල් ලබා දීමට කටයුතු කරන බව මෙහි දී අමාත්‍යවරයා පැවැසීය. මීට පෙර මාස තුනක බිල්පත් පමණක් අත ඉතිරි වන ලෙස ගෙවීම් සිදු කළ අතර එය මේ වන විට දින 60ක් දක්වා අඩු කර ගැනීමට හැකි ව තිබේ. ඉදිරි වසරේ සිට මසක බිල්පත් පමණක් අත ඉතිරි වන පරිදි ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දුලිප් ද සිල්වා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර යන මහත්වරු ද සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT