Home » රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට නිර්දේශ

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට නිර්දේශ

by chanaka
October 26, 2023 4:38 pm 0 comment

පසුගිය 19වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කැඳවා තිබිණි.

මෙහිදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2020,2021 වර්ෂවල විගණන වාර්තා පරීක්ෂා කිරීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබදව විමර්ශනය කිරීම සිදුවිය. මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් ද රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට කැදවා තිබිණි. මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රමාදය
මීට පෙර පැවති කෝප් කමිටුවේදී ලබා දුන් නිර්දේශ අනුව සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීම ප්‍රමාදය පිළිබදව අවධානය යොමු විය. දැනටමත් මෙම කටයුතු ආරම්භ කර ඇති බවත් 2024 ජූලි වන විට සම්පූර්ණයෙන්ම එම කටයුතු අවසන් කරන බවටත් නිලධාරීහු සහතික වූහ.

තරගකාරී බැංකුවක් ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව

බැංකුවේ වත්කම් ප්‍රමාණය වැඩිකරගෙන දියුණු තලයකට පැමිණීම සදහා වානිජ මට්ටමේ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී. බැංකුවේ මූලික පරමාර්ථවලින් සම්පූර්ණයෙන්ම බැහැර නොවී තරගකාරී බැංකුවක් ලෙස මහජනතාවට සමීප වීමේ වැදගත්කම කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව නව්‍ය බවකින් යුතුව සහ ආකර්ශනීය ලෙස බැංකුවේ සන්නාමය මහජනයා අතර ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව (Rebranding) අවධාරණය කෙරිණි.

සාවද්‍ය ලේඛන ඉදිරිපත්කර රු මිලියන 68ක් ණය ලබා ගැනීමෙන් සිදුවූ අලාභය

2017 වසරේදී සාවද්‍ය ලේඛන ඉදිරිපත් කරමින් යම් පිරිසක් ණය ලබා ගැනීම නිසා බැංකුවට අලාභ වූ රු මිලියන 68 ක මුදලක් පියවා ගැනීමට අදාළ කටයුතු පිළිබද අවධානය යොමු විය. ණය අයදුම්කරුවන් 49 ක් සදහා බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ඇතිව අදාළ ණය මුදල ලබාදීමෙන් මෙම වංචාව සිදුව ඇති බවද හෙළිවිය. දැනටමත් නෛතික කටයුතු අනුව රු. මිලියන 8 ක් ලැබී ඇති බවත් ඉතිරි මුදල ලබා ගැනීම සදහා නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නිලධාරීහු පැවසූහ. මෙම සිදුවීම සිදුවී වසර 6ක් ගතවුවද නිලධාරීන්ට දඩුවමක් ලබා දී මෙම මුදල් අයකරගැනීම පමාවීම පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මේ අනුව මේ පිළිබද සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය.

බැංකුවේ සක්‍රීය නොවන ණය අනුපාතය ඉහළ අගයක පැවතීම

බැංකුවේ සක්‍රීය නොවන ණය අනුපාතයේ (Non-Performing Loans Rate) සාමාන්‍ය අගය ඉක්මවා, ශාඛා 10 ක පමණ ඉහළ සක්‍රීය නොවන ණය අනුපාතයක් වාර්තා කර තිබීම පිළිබදව අවධානය යොමු විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම බැංකුවේ පාරිභෝගිකයන් බහුතරය මධ්‍යම හා අඩු ආදායම්ලාභීන් බැවින් පැවති ආර්ථික තත්ත්වය හමුවේ ණය ගෙවීම සදහා ඔවුනට සහන කාලයන් ලබා දීමට සිදුවූ බවයි. මේ පිළිබද විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දීම සිදු විය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඉරාන් වික්‍රමරත්න, සංජීව එදිරිමාන්න, මේජර් සුදර්ශන දෙනිපිටිය, මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වි සිටියහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT