Home » ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට

by chanaka
October 27, 2023 7:52 am 0 comment

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අවසන් කෙටුම්පත මේ වනවිට නිරීක්ෂණය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (26) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළේය.

තිරසාර කෘෂිකර්මාන්තයක් උදෙසා ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම ගැටළුවක් බව සඳහන් කළ අමාත්‍යවරයා රජයන් වෙනස් වන විට හෝ අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බැවින් මේ වනවිට එම කටයුතු අවසන් කර ඇති බව දැනුම් දුන්නේය.

ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් අංශ කිහිපයක් යටතේ ඔවුන්ගේ ප්‍රතිපත්තිමය අදහස් හා යෝජනාවලියක් අමාත්‍යවරයාට ඉදිරිපත් කළේය.

දැනට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සඳහා සියලුම අංශවලින් ලබා ගත් යෝජනා ඇතුළත් කර සකස් කර තිබේ. එමෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ටම අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අතර බහුතරයක් මන්ත්‍රීවරු තම යෝජනා ඉදිරිපත් කරන ලදී.

දැනට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන යෝජනා එම අවස්ථාවේ දී ඇමිණුමක් වශයෙන් ඇතුළත් කිරීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට දැනුම් දුන්නේය.

මෙහිදී අදහස් පළ කළ එම නියෝජිතයෝ කෘෂිකර්ම අමාත්‍යාංශයට වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධ කිරීම සම්බන්ධව ගරු ජනාධිපතිතුමන්ට කෘතඥතාවය පළ කරන බවද සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT