Saturday, May 3, 2025
Home » විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රමිතිය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රමිතිය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

by yasara
October 27, 2023 2:41 pm 0 comment

education minister 1

විභාග දෙපාර්තමේන්තුව ප්‍රමිතියක් අනුව ප්‍රශ්න පත්‍ර සකස් කරන බවත්, ඒ  ප්‍රමිතිය එදා සිට අද දක්වාම ආරක්ෂා කරගෙන සිටින බවත්විවේචන එල්ලවන්නේ ඒවා කර්මාන්තයක් කරගත් අය විසින් බවත් ඔවුන්ගේ ප්‍රතිචාරවලට කලබල වීම නිෂ්ඵල බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
කවුරුන් විසින් ප්‍රශ්නය ඇති කළත් වගකීම් භාරගත් අය වශයෙන් නිවැරදි විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බවත්, අභියෝග රැසක් පැවති සමයක තමා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පත් වූ අතර පියවරෙන් පියවර එම අභියෝගවලට විසඳුම් සපයමින් ඉදිරියට යාම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

පසුගියදා ඇති වූ ගුරු විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණය මර්දනය කිරීම සම්බන්ධව මෙහිදී මාධ්‍යවේදීන් විසින් කරන විමසීම් හමුවේ  අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ගුරු සංගම් එක්ක මම දිගින් දිගටම සාකච්ඡා කරමින් මෙතෙක් කලක්  ඇති වූ ඒ අයගේ ගැටළු  විසඳාගනිමින්  ආවා. අයවැය ලේඛනයකුත් ලංවෙන නිසා අපි යෝජනා කරල තියෙනවා, ගුරු විදුහල්පති පමණක් නෙවෙයි සෙසු සේවාවලත් ඇතිව තිබෙන වැටුප් විෂමතා සමනය කිරීමට අයවැයෙන් යම් ප්‍රතිපාදනයක්  වෙන් කරල ඒ සම්බන්ධයෙන් පියවර ගන්නේ කොහොමද කියන කාරණය අපි පෙන්වා දීලා තියෙනවා. නමුත්  රටේ තියෙන ආර්ථිකයත් එක්ක තමයි භාණ්ඩාගාරය ඒ සම්බන්ධව අවධානය යොමු කරන්නෙ. අපේ යුතුකම අපි ඉටු කරල තියෙනවා.. යැයි පැවසීය.

වෘත්තීය සමිති ස්වකීය සාමාජිකයන් වෙනුවෙන් ඉල්ලීම් කිරීම සාමාන්‍ය  ස්වභාවය බවත් ඊට අනවශ්‍ය අයුරින් කලබලවීම නිෂ්ඵල බවත්, තමා අධ්‍යාපන සමුළුවකට විදේශගතව සිටි මොහොතේ ඇති වූ එම තත්වය නිසා කිසියම් පාර්ශවයකට අගතියක් හෝ අපහසුවක් වී නම් ඒ පිළිබඳ  තම කනස්සල්ල පළ කරන බවත් ඉදිරි සතියේ දී එම වෘත්තීය සමිති කණ්ඩායම් හමුවීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT