ශ්‍රී ලංකා යුද හමුදාවේ 16 වැනි යුද හමුදාපතිවරයා වූ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ලයනල් බලගල්ලේ මහතා පෙරේදා (25) කොළඹදී අභාවප්‍රාප්ත විය.
වසර 1945 ජුනි මස 15 වැනිදා මෙලොව එළිය දුටු බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 78 ඉක්මවා තිබුණි. මිනුවන්ගොඩ දෙවලපොළ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එම්.බී. ඩැනියෙල් මහතාගේ හා විශ්‍රාමලත් ආචාරිනී නෙල්පියා ගජනායක මහත්මියගේ එකම පුත්‍රයා ලෙස උපන් ලයනල් බලගල්ලේ මහතා කුඩා කල රත්නපුර, නිවිතිගල යටාගර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. සිය මවගේ හා පියාගේ සේවා ස්ථානවල සිදුවන වෙනස්කම් සමඟින් රටේ විවිධ ප්‍රදේශවල පාසල්වලින් තම අධ්‍යාපනය ලැබීමට බලගල්ලේ මහතාට සිදු විය.
ඒ අනුව යටාගර විදුහලින් පසුව මිනුවන්ගොඩ නාලන්ද විදුහල, මීගමුව හරිස්චන්ද්‍ර විදුහල හා කොළඹ ආනන්ද විදුහලින් පාසල් අධ්‍යාපනය ලැබූ ඒ මහතා 1965 අප්‍රේල් මස 05 වැනිදා දියතලාව යුද හමුදා අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව යුද හමුදා කැඩෙට් නිලධාරියකු ලෙස සිය හමුදා දිවිය ආරම්භ කොට ඇත.
තම සේවා කාලය ඉතා සාර්ථකව ගත කළ අභීත රණවිරුවකු වූ ජෙනරාල් බලගල්ලේ මහතාගේ සේවය අගයමින් ඊට උපහාර ලෙස රණවික්‍රම පදක්කම (RWP) රණශූර පදක්කම, පූර්ණ භූමි පදක්කම (VSP) ආදී පදක්කම් සමූහයකින් ඔහු පිදුම් ලබා ඇත.