– නායක වූ පසු කුසල්ගෙන් තෙවැනි වරටත් ලකුණු නෑ
– වසර 44ක් පැරණි අඩුම ලකුණු වාර්තාවක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් ප්‍රබල කැළඹීමක් ඇති කරමින් වත්මන් එක්දින ලෝක ශූර එංගලන්තය රුවල කැඩීගිය නැවක් කුණාටුවකට හසුවූවා මෙන් අවසන් පූර්ව වටයෙන් බොහෝ ඈතට ගසාගෙන ගියේය. ඊයේ ශ්‍රී ලංකාව කඩුලු 8ක ජයක් ලබා ගැනීමත් සමඟ එංගලන්තයට ලෝක කුසලාන ක්‍රිකට් අවසන් වටයේ බලාපොරොත්තු සුන්වී යන තත්ත්වයක් දැන් නිර්මාණයවී තිබේ. මේ තරගයේ ප්‍රතිඵලයත් සමඟ ශ්‍රී ලංකාව එදා මෙදාතුර ලෝක කුසලාන තරගවලදී ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදුන් එංගලන්තය පිට පිට පරාජය කළ 5 වැනි අවස්ථාව වාර්තා පොතේ සටහන් වූවේය.
එංගලන්තය මෙවර තරගාවලියේදී තරග 5කට සහභාගිවී තරග 4ක් පරාජයවී ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා පල්ලම් බසිද්දී, ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ අලුත් බලාපොරොත්තු සමඟ තරග 5කින් තරග දෙකක් දිනා ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉහළට නැඟ ගියේය. මූලික වටය අවසන් වෙද්දී තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 10 අතුරින් ලකුණු සටහනේ මුල් කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විශේෂ කැඳවීමක් මත මෙයට දින 6කට පෙර ඉන්දියාවට පැමිණි අත්දැකීම් බහුල ඇන්ජලෝ මැතිව්ස් ඊයේ එංගලන්ත ඉනිමේ කඩා වැටීම ආරම්භ කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවට කදිම පිළිතුරක් ලබාදී ජයග්‍රහණය උදෙසා විශිෂ්ට මෙහෙවරක යෙදුනේය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම පළමු තරගයේදීම සියලු කණ්ඩායම්වල පන්දු යවන්නන් අබිබවා ඕවරයකට ලබාදුන් අඩුම ලකුණු සාමාන්‍ය (2.80) වාර්තා කළ (Best economy rates) මැතිව්ස් 5-1-14-2 ලෙස එංගලන්ත නමගිය පිතිකරුවන් ඇද බැඳ තබා ගත්තේය.
මැතිව්ස්ගේ ආගමනයත් සමඟ නිර්මාණය වූ මේ පසුබිම මත වෙනදා නොදුටු පිබිදීමකින් පන්දු යැවූ වේග පන්දු යවන ළහිරු කුමාර (35/3) හා කසුන් රාජිත (36/2) සුදු ජාතිකයන්ගේ මුහුණු කළු කළහ. 1979 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය ලීඩ්ස්හි පාකිස්තානයට එරෙහිව ලකුණු 165කට දැවී ගොස් ලෝක කුසලාන තරගයක ඔවුන්ගේ අඩුම ලකුණු වාර්තා කොට තිබූ අතර, ඊයේ ඉක්මණින් ඉනිම නිමාවූ හෙයින් එම වසර 44ක් පැරණි වාර්තාව ද බිඳ වැටිණි.
බැංගලෝර් එම්. චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය මුලින් පන්දුවට පහරදී ඕවර 33.2කදී ලකුණු 156ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 146ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් හා නායක කුසල් මෙන්ඩිස් අසාර්ථක වෙමින් පළමු කඩුලු දෙක ලකුණු 23ක් තුළ දැවී ගිය අතර, ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මේ තරගාවලියේ පිට පිට රැස් කළ 4 වැනි අර්ධ ශතකය හා සධීර සමරවික්‍රම පිට පිට වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය සමඟ තෙවැනි කඩුල්ලට පන්දු 122කදී නොබිඳුණු ලකුණු 137ක සබඳතාවක් ගොඩ නැඟූහ. ජයග්‍රහණයට තවත් ලකුණු 3ක් අවශ්‍යව තිබියදී ‘ලෝන්ග් ඕෆ්’ හරහා ‘ලොෆ්ටඩ් ඩ්‍රයිව්’ පහරක් එල්ල කරමින් ලකුණු 6ක් ලබා පැතුම් නිශ්ශංක ජයග්‍රහණය සටහන් කළේය. පැතුම් පන්දු 83කදී හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමඟ නොදැවී රැස් කළ ලකුණු 77 තම එක්දින ජිවිතයේ 13 වැනි අර්ධ ශතකය වූ අතර, පන්දු 54ක් තුළදී හයේ පහරක් හා හතරේ පහර 7ක් එල්ල කරමින් නොදැවී ලකුණු 65ක් ලැබූ සධීර සමරවික්‍රම තම 7 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ එංගලන්ත ඉනිමේ පළමු ඕවරයේ යැවූ පළමු පන්දුව ජොනී බෙයාස්ටෝගේ පාදයේ වැදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට අවස්ථාවක් තිබුණ ද එය රූපවාහිනී විනිසුරුට යොමු කිරීමට ශ්‍රී ලංකා පිල අපොහොසත් විය. මුල් ඕවර කිහිපයේදී එංගලන්ත පිතිකරුවන් වේග පන්දු යවන්නන්ට ප්‍රහාර එල්ල කරද්දී 7 වැනි ඕවරය යැවීමට පන්දුව අතට ගත් ඇන්ජලෝ මැතිව්ස් විසින් ඩේවිඩ් මලන් දවාගත් අතර, 10 වැනි ඕවරයේදී ජෝ රූට් දුවද්දී දවා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ අතටම පන්දුව යොමු කරමින් මැතිව්ස් යළි දායකත්වය සැපයීය. කෙසේ වෙතත්, ඕෆ් සයිඩ් හරහා අලංකාර ඩ්‍රයිව් පහරවල් කිහිපයක් එල්ල කරමින් ඩේවිඩ් මාලන් පන්දු 25කදී හතරේ 6ක් සමඟ ලකුණු 28ක් ලබා ගත් විට, තණතීරුව පන්දුවට පහර දීමට අපහසු නොවන බව පෙන්නුම් කළේය. එහෙත් බෙන් ස්ටෝක්ස් හැර පසුව පැමිණි එංගලන්ත පිතිකරුවන් එම මාර්ගයේ නොගිය බැවින් ඉරණම දරුණු එකක් විය. ස්ටෝක්ස් ඉනිම ගොඩනැඟීමට තනියම උත්සාහ කළ අතර, පන්දු 73කදී හතරේ 6ක් සමඟ ලකුණු 43ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ පන්දුවකට අතිරේක ක්‍රීඩක දුෂාන් හේමන්ත අතට උඩ පන්දුවක්දී දැවී ගියේය. ආදිල් රෂීඩ් හාස්‍යජනක ලෙස ලකුණු 2කට දුවද්දී දැවීයාම හා මාර්ක් වුඩ්ගේ කඩුල්ල තීක්ෂණ දවා ගැනීම එංගලන්ත ඉනිමේ අවසානය විය. මේ තීරණාත්මක තරගයේදී එංගලන්ත මැද පෙළ පිතිකරුවන් අසරණ කරමින් ශ්‍රී ලංකාවට අනගි ජයක් ගෙනදීමට මුල්වූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට තරගයේ වීරයා සම්මානය ප්රදානය කෙරිණි.
ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මුහුණ දෙන මීළඟ තරගය පූනේහිදී මේ 30 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වේ.