Home » බංග්ලාදේශ නැඟී එන පිලේ ලකුණු පුවරුව 472 දක්වා ඉහළ නඟී

බංග්ලාදේශ නැඟී එන පිලේ ලකුණු පුවරුව 472 දක්වා ඉහළ නඟී

by mahesh
October 27, 2023 12:58 am 0 comment

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන සිවුදින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන සත්කාරක බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 472ක් රැස් කරමින් ප්‍රබල තත්ත්වයක පසු විය.

ඊයේ තරගය නතර කරන විට ප්‍රිතොම් කුමාර් නොදැවී ලකුණු 44ක් රැස් කර තිබූ අතර, රිපොන් මොන්ඩෙල් ලකුණු රැස් කිරීම ආරම්භ කර නොතිබිණි.

ලකුණු 167කට කඩුල්ලක් දැවී තිබියදී දෙවැනි දිනය ආරම්භ කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ දෙවැනි කඩුල්ලේ සබඳතාවට තවත් එක් කර ගත හැකි වූයේ ලකුණු 29ක් පමණි. පළමු දිනයේ නොදැවී ලකුණු 49ක් රැස් කර සිටි නායක මහ්මුදුල් හසන් තවත් ලකුණු 17ක් එක් කර ගැනීමෙන් අනතුරුව ඒෂාන් මාලිංගගේ පන්දුවක් හමුවේ දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. කෙසේ වෙතත් තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු 74ක් රැස් කර සිටි අයිච් මොල්ලා සටන්කාමී ඉනිමක නිරත වෙමින් සිය ඉනිම ලකුණු 147 දක්වා ඉදිරියට ගෙන ගිය අතර, ඔහුට අනගි සහායක් දුන් ශහදත් හොසේන් තෙවැනි කඩුල්ලට ලකුණු 150ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය. එම සබඳතාව නිමා කරමින් ශහදත් ලකුණු 93කට දවා ගැනීමට යළි ක්‍රියාත්මක වූ මාලිංගට හැකි විය.

අයිච් සිවුවැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 374ක් විය. පන්දු 299කට මුහුණ දුන් ඔහු හතරේ පහර 19ක් එල්ල කර තිබිණි.

පන්දු යැවීමේදී ඒෂාන් මාලිංග කඩුලු 3ක් බිඳ දැමූ අතර, නිපුන් ප්‍රේමරත්න කඩුලු 2ක්, ශෂික දුල්ෂාන් සහ කල්හාර සේනාරත්න කඩුල්ල බැගින් දවා ගත්හ.

අද තරගයේ තෙවැනි දිනයයි

බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම පළමු ඉනිම – 472/7 (ඕවර 123) අයිච් මොල්ලා 147, ශහදත් හොසේන් 93, මහ්මුදුල් හසන් 66, ප්‍රිතොම් කුමාර් නොදැවී 44, ප්‍රන්ටික් නව්රෝස් 41 (ඒෂාන් මාලිංග 97/3, නිපුන් ප්‍රේමරත්න 84/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT