වසර 1952 ය. ‘කැලෑ හඳ’ චිත්‍රපටය පිළිබඳ ‘මුහුර්ත මංගල්‍යය’ සිදුවීම් පිළිබඳ පුවත් පත් මඟින් දැනගන්නට ලැබුණු අලුත දිනෙක මහා පඬි පණ්ඩිත ගුණපාල සේනාධීරයන් මහගත්කරු, සාහිත්‍ය කීර්ති, නවකතා චක්‍රවර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා හමුවීමට ඔහු පදිංචිව සිටි වැල්ලවත්තේ ‘සිල්වමියට’ ගියේය. එදා ‘මුහුර්ත’ උලෙළ ගැන තොරතුරු සේනාධීරයන් මහගත්කරුගෙන් විමසීය.
මුහුර්ත උලෙළින් පසු විවේක නිකේතනයක සාදයක් චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් පවත්වන්නට යෙදිණි. මේ හමුවෙහිදී රුක්මණී දේවිය තමා ඉදිරියට අවුත් දණින් වැටී තම දෙපා වැඳ ආශීර්වාද ලබා ගත් බව සිල්වා සූරීන් සේනාධීරයන්ට කීවේ දුක්බර සිතිනි. එහිදී ‘ඩබ්ලිව්. ඒ.’ මතුකොට කීයේ ඇගේ ගුණවත් බවය. නළුකම වැනි රැකියාවකට පිවිසුණ ද ඇය යහපත් මවුපියන් ඇසුරෙහි හැදුණු වැඩුණු ආචාරශීලි කාන්තාවක් බව තමාට එදා වැටහුණු බව ‘ඩබ්ලිව්. ඒ.’ සඳහන් කළේය.
එදා ‘ඩබ්ලිව්. ඒ.’ රුක්මණී දේවියට දුන් මේ ‘චරිත සහතිකය ඇගේ දුක්බර මරණයෙන් පසුව හෙළි වූ කරුණුවලින් සනාථ වන ඇයට යුක්තිය ඉටු කිරීමක් ලෙස පණ්ඩිත සේනාධීරයෝ පවසති. අද වන විට ඩබ්ලිව්. ඒ. සේනාධීර හා රුක්මණී දේවි ජීවිතවලින් සමුගෙනය.
රුක්මණී දේවිය ඔබට හඳුන්වා දීම කිරෙහි සුදු පැහැය වැනීමකි. ඇය තරම් මෙරට පොදු ජනයාගේ හද තුළ ජීවත් වූ කලාකාරියක් මෙතෙක් බිහි වී නැත්තේය. රුක්මණී දේවිය විශිෂ්ට නිළියක හා ගායිකාවක් වුවද ඊටත් වඩා ගුණගරුක නිහතමානි ගතිගුණ ඇති කාන්තාවක් බව මොනවට පැහැදිලි වෙයි.
එයට තවත් නිදසුනකි මේ.
වසර 1967ය. සිනමාවට පිවිසීමට පෙර රුක්මණී රාමායණය – මායාවතී – රෝහිණී – රෝමියෝ ජුලියට් – රාජදෝහියා – සිරිසඟබෝ – රංගල අප්පු ඇතුළු මීගමුවේ මිනර්වා නාට්‍යවල රඟපෑවාය. සිනමා නිළියක් ලෙස ජයකෙහෙලි නැංවූ ඇයව 1967 වසරේ ධම්ම ජාගොඩ විසින් ‘වෙස් මුහුණු’ වේදිකා නාට්‍යයේ කුමාරි උඩුවෙලගේ චරිතයට තෝරා ගත්තේය. ඊට පෙර මේ චරිතය රඟපෑවේ රොමා ද සොයිසා සහ අයිරාංගනී සේරසිංහ ය. මුලින්ම රුක්මණී ‘වෙස් මුහුණු’ නාට්‍යය රඟපෑම වේදිකාගත වූ දින ගාලු නගර ශාලාවේ සිදු වූ නොසිතූ විරූ සිද්ධියක් වාර්තාවේ. මේ සිදුවීම 1978 දෙසැම්බර් ‘දෙසතිය’ සඟරාවේ ධම්ම ජාගොඩ මෙසේ සඳහන් කර තිබුණි.
‘එදින නාට්‍ය දර්ශනය ආරම්භ කිරීමේ දෙවෙනි සීනුවට පසු තුන්වන සීනුව අතර ඇති විනාඩි දෙකේ දී මා සමීපයට පැමිණි රුක්මණී දේවි, බැගෑපත් ලෙස මගෙන් ඉල්ලීමක් කළා. ඇගේ සියලුම කලා කටයුතුවලදී සම්ප්රදායක් ලෙස මුලින්ම ඉටුකරන චාරිත්‍රයකට ඉඩ දෙන ලෙස ඇය, මගෙන් ඉල්ලා සිටියා. මා දැන සිටි තරමින් ඇය ආගමට ලැදි කාන්තාවක්. ඒ නිසා මා හිතුවේ නාට්‍යය ආරම්භ කරන්න පෙර ඇය දෙවියන් යැදීමට අවසර ඉල්ලන බවයි. එහෙත් සිදු වූයේ වෙනත් දෙයක්.
සියලුම ශිල්පීන් බලා සිටියදී ඇය මා ඉදිරියේ දණින් වැටී වැන්දා. මගේ සිත තුළ උපන් කම්පනය මට විඳගන්න බැරිව ගියා. මේ සිද්ධිය දුටු නාටක කණ්ඩායමේ සියලු දෙනාගේම සිත් තුළ ඇතිවුණු කලබැගෑනිය නිසා එදින නාට්‍යය රංගගත කිරීම විනාඩි තිහකින් පමණ ප්‍රමාද වුණා. මෙහිදී වැදගත් වන්නේ රුක්මණී දේවි, ධම්ම ජාගොඩ ඉදිරියේ වැඳ වැටීම නොවෙයි. ශ්‍රේෂ්ඨ නිළියක් තම නිෂ්පාදකවරයා කොයි තරම් ළාබාල අයෙකු වුවත් ඔහු කෙරෙහි ගරු සැලකිලි දැක්වීමේ ගුණාංගයයි.’
රුක්මණී දේවිය ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ ප්‍රථම චිත්‍රපට නිළිය මෙන්ම ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායිකාව ද වන්නීය. එමෙන්ම ප්‍රථම ද්විත්ව චරිත නිරූපණය කළ නිළිය ද වන්නීය. ඒ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ මව හා දියණිය ලෙස රඟපෑ චරිතයි. ජාතික පුවත්පතක තම ‘ජීවිත කතාව’ ලියූ ප්‍රථම නිළිය ද ඇය ය. ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයේ සතිපතා දුර්ලභ ඡායාරූප සමඟ පළවූ මේ ලිපි පෙළ ඇය සමඟ සාකච්ඡා කොට ලිවුවේ කරුණාසේන ජයලත්ය. මෙරට පැවැත්වූ චිත්‍රපට විනිශ්චය මණ්ඩලයකින් තේරූ දීපශිඛා’ සම්මානයකින් (උමතු විශ්වාසය) පිදුම් ලැබූ ඕ මෙරට නිපදවූ ද්‍රවිඩ භාෂිත චිත්‍රපටයක රඟපෑ ප්‍රථම නිළිය ද වූවාය. ‘කුසුමලතා’ ඒ චිත්‍රපටයයි. භාරතයේ ජනප්‍රිය සිනමා සඟරාවක් වූ Film fair (ෆිල්ම් ෆෙයා) හි මුල් පිටුව සැරසූ එකම නිළිය ද එම සඟරාවේම My like and Dislikes විශේෂාංගයක් එතෙක් මෙතෙක් පළවූ එකම නිළිය ද ඇයයි. චිත්‍රපට නිළියක් තම චරිතාපදානය මුද්‍රණයෙන් නිකුත් කළේ ද ඇයයි. ‘මගේ ජීවිත විත්ති’ නම් ග්‍රන්ථය ඇය රඟපෑ ‘දොස්තර’ චිත්‍රපටය මුලින්ම තිරගත වූ දා 1956 වසරේ සිනමාස් සමාගමෙන් මුද්‍රණය කර තිබුණි. මුලින්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කළ නිළිය වන්නේ ද ඇයයි. ‘සිරියලතා’ 1957දී ඇය නිෂ්පාදනය කළේ ඇගේ සැමියා වූ එඩී ජයමාන්න සමඟය. මුල්වරට සිනමා නිළියක් වෙනුවෙන් රසික සමාජයක් බිහි වූයේ රුක්මණී වෙනුවෙනි. මුල්වරට සමරු මුද්දරයක් ද ප්‍රතිමාවක් නිර්මාණය කළේ ද රුක්මණී වෙනුවෙනි.
කලා ලොවේ රැජිනක් ලෙස අභිෂේක ලැබූ රුක්මණී දේවිය 1923 ජනවාරි 15 වැනිදා නුවරඑළියේ රම්බොඩ දී උපත ලැබුවේ ඩේසි රාසම්මා ඩැනියල් නමිනි. ඇගේ ජාතිය කළම්බු චෙට්ටිය. ආගම ක්‍රිස්තියානිය. වතු පාලකයකු වූ ජෝන් ඩැනියල් ගුණරත්නසිංහම් ඇගේ පියා ය. එලන් රෝස් ඥානසුන්දරම් මව වූවාය. පවුලේ පස්දෙනෙකි. මේබල්, ඩේසි, ෆ්රෙඩ්රික්, ප්ලොරන්ස්, හෙලන්. නුවරඑළියේ සීත දේශගුණය නිසා ඩේසි නිතර අසනීප වීම නිසා වෛද්‍ය උපදෙස් පරිදි ඩැනියල් පවුල කොළඹ දෙමටගොඩට පදිංචියට පැමිණියහ. ඩේසි දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයට ඇතුළත් කළ පියා කොටුවේ ඉම්පීරියල් ඉංග්‍රීසි බෙහෙත්ශාලාවේ සේවය කළේය.
ගායනයට, නර්තනයට හපන්කම් දැක්වූ කුඩා ඩේසි කුසලතා දියුණු කර ගැනීමට අත්පොත තැබුවේ නැටුම් ගුරුවරිය වූ චන්ද්‍රලේඛා පෙරේරා (ජේ. ඩී. ඒ. පෙරේරා කලාගුරුගේ බිරිඳ) ය. පාසලේ පැවැත්වූ විවිධ ප්‍රසංගයකදී ගී ගැයූ දොළොස් හැවිරිදි ඩේසිගේ හැකියාව තේරුම් ගත් වෝල්ටර් අබේසිංහ නම් මහතෙක් ‘රාමායණය’ නාට්‍යයේ ගීත ගැයීමට තෝරා ගත්තේය. එතැනින් ආරම්භ වූ ඩේසිගේ කලා ජීවිතය ‘ජානකීහරණය’, ‘රාජ ද්‍රෝහියා’, ‘මායාවතී’, ‘සිරිසඟබෝ’, ‘කීකරු බිරිඳ’, ‘රෝමියෝ ජුලියට්’ නාට්‍යවල රඟපෑම දක්වා ව්‍යාප්ත විය. වයස අවුරුදු 13දී ඇයට එච්. එම්. වී. තැටියක් සඳහා ගීතයක් ගැයීමට ඇරයුම් ලැබිණි. කාර්ගිල්ස් සමාගමේ ගේබ්‍රියල් ගුණරත්න හා එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්ගේ තෝරාගැනීම අනුව ‘සිරි බුද්ධගයා විහාරේ’ ඩේසිගේ ප්‍රථම ග්රැමෆෝන් ගීතය ගැයුවාය. ඒ ගීතය ඇය ගැයුවේ රූපසිංහ මාස්ටර් සමඟය. ඉන්පසු ‘සැප නෑ සංසාරේ’, ‘තේ පැන් දින දින’, ‘පුන්සඳ පාය’ ඇය ගැයුවාය.
ඩේසිගේ ජීවිතයේ පෙරළියක් ඇතිවන්නේ පාසල් නිවාඩුවක මීගමුවේ පදිංචි මාමා කෙනකුගේ ගෙදරක ගිය ගමනකදීය. එක්තරා සන්ධ්‍යාවක ඇය ඥාති සොහොයුරියන් සමඟ මීගමු මුහුදු වෙරළේ ගී ගයමින් සිටින විට තරුණයන් දෙදෙනෙක් ඔවුන් අසලට පැමිණියහ. එක් තරුණයෙක් ඩේසි සමඟ නාට්‍යයක රඟපෑ ස්ටැන්ලි මල්ලවාරච්චිය. ‘ඩේසි, මේ මගේ හොඳම යාළුවෙක්. එයාගේ ගමත් මීගමුවේ. නම එඩී ජයමාන්න. මීගමු මිනර්වා නාට්‍යවල රඟපාන විකට නළුවෙක්.’
‘බොහොම සන්තෝසයි, ඩේසිව අඳුනගත්තට’ එඩී අත දිගු කළේය.
පසු කලෙක ‘එඩී – රුක්මණී’ කලා ලොවේ බැබළුණාහ. එදා එඩී, ඩේසිගේ අත සදහටම අල්ලා ගනිවි කියා ඔවුන් නොසිතූහ. ඔවුන්ගේ හමුවීම ආදරයකට පෙරළුණි. එඩී විසින් තම සොහොයුරු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට ඩේසි හඳුන්වා දුන්නේ මිනර්වා නාට්‍යවල දර්ශන මාරුවන අවස්ථාව අතරතුර ගීත ගැයීමට හොඳම ගායිකාව ලෙස රෙකමදාරු කරමිනි. ගීත ගැයීම වෙනුවෙන් රු. 15ක් ලැබූ ඇය රුක්මණී දේවි නමින් ප්රකටව මිනර්වා නාට්‍යවල ද රඟපෑමට අවස්ථාව හිමිකර ගත්තාය. ‘කඩවුණු පොරොන්දුව’ වේදිකා නාට්‍යයේ රංජනී ලෙස රඟපෑ රුක්මණී හා එඩීගේ ඉඟි බිඟි දුටු ඇගේ පියා එයට එරෙහි විය. තාත්තාගේ සිතැඟි වූයේ රුක්මණීව තම මස්සිනාට විවාහකර දීමටය. මවුපියන්ගේ දැඩි නීතිරීති මැද රැකබලා ගත් රුක්මණී එඩී කළ සැලසුම මත ඔවුහු පැන ගියෝය.
1943 පෙබරවාරි 15 වෙනිදා වැලිගම්පිටියේ දේවස්ථානයේ අල්තාරය ඉදිරිපිට දී රුක්මණී තමා ඇදහූ ක්‍රිස්තියානි ආගම අත්හැර කතෝලික දහම වැලඳ ගත්තාය. එඩී – රුක්මණී ඉන්පසු පැමිණියේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පදිංචිව සිටි කොළඹ නාගරික මන්ත්‍රී ජේ. ආර්. ජයවර්ධන මහතා හා එලීනා ජයවර්ධන මහත්මියගේ රැකවරණය ලැබීමටය. පසුව ජයවර්ධන මහතාගේ උපදෙස් පරිදි ගම්පහ පොලිස් පරීක්ෂක ලයනල් ගුණතිලක මඟින් මේ යුවළ උසාවියට භාර වූහ.
මේ සිද්ධියෙන් ජයමාන්න සොහොයුරෝ එඩීට රුක්මණීට මිනර්වා නාට්‍යවල රඟපෑම තහනම් කළෝය. එඩී හා රුක්මණී නැතිව මිනර්වා නාට්‍යවල ජනප්‍රියතාව හීන වීම නිසා ඔවුනට සමාව ලැබිණි. මේ අතර 1946 වසර වන විට 800 වාරයක් වේදිකාගත වූ ජනප්‍රිය මිනර්වා නාට්‍යයක් සිනමාවට නැඟිණි. ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ ප්‍රථම චිත්‍රපටයේ ‘කඩවුණු පොරොන්දුවේ’ ප්‍රථම කතානායිකාව ද, පසුබිම් ගායන ශිල්පිනියක ලෙස වාර්තාවක් තැබූ රුක්මණී එතැන් සිට තමා ප්‍රධාන චරිත රඟපෑ මිනර්වා නාට්‍ය පසුබිම් කොට නිෂ්පාදනය කළ කපටි ආරක්ෂකයා – වැරදුණු කුරුමානම – හදිසි විනිශ්චය – සැඟවුණු පිළිතුර – උමතු විශ්වාසය චිත්‍රපටවල ප්‍රධාන භූමිකාව රඟපෑවාය. ඇය රඟපෑ චිත්‍රපට අතරින් වඩා ජනප්‍රිය වූයේ ‘කැලෑ හඳ’ චිත්‍රපටයයි. එහි ඇය ගැයූ සෑම ගීතයක්ම ජනප්‍රිය විය. මේ චිත්‍රපටයේ ඇය සම නිෂ්පාදිකාවක් ද වූවාය. මේ චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් ඇය රු. 25,000 ලැබූ අතර, එයින් රු. 3000කට තම රියැදුරුට අලුත් මෝටර් රථයක් තෑගි කළාය.
1954 වසරේ එළිසබෙත් මහරැජින ලංකාවට පැමිණි අවස්ථාවේ බණ්ඩාරවෙල දී ලංකාවේ උසස්ම සිනමා නිළිය ලෙස අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල විසින් රුක්මණී හඳුන්වා දුන්නේය.
1956 ‘දිනමිණ’ පත්‍රය මඟින් ලංකාවේ ප්‍රථමවරට පවත්වන ලද චිත්‍රපට තරගයක් 1956 මාර්තු 02 වෙනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ශාලාවේ පැවැත්වූ අතර, එහිදී ප්‍රථමවරට ප්‍රියතම නිළිය ලෙස අභිෂේක ලබා බ්‍රිටිෂ් ඉලෙක්ට්‍රිකල් සමාගමෙන් ටේප් රෙකෝඩර් යන්ත්‍රයක් හිමිකර ගත්තාය.
මෙරට 1956 මැයි 18 වෙනිදා රීගල් සිනමාහලේ පැවැති චිත්‍රපට විනිශ්චය මණ්ඩලයකින් තේරූ ප්‍රථම ලංකාදීප දීපශිඛා චිත්‍රපට උලෙළේ දී හොඳම චිත්‍රපට නිළියට හිමි සම්මානය ඇයට හිමිවූයේ ද උමතු විශ්වාසයේ මව හා දුව ලෙස රඟපෑම වෙනුවෙනි.
රුක්මණී දේවි (1947 සිට 1978) දක්වා රඟපෑ (‘කඩවුණු පොරොන්දුවේ’ සිට ‘හිතත් හොඳයි වැඩත් හොඳයි’ දක්වා) චිත්‍රපට 84ක රඟපෑවාය. 1978 ඇය මියගිය පසු ද තිරගත වූ චිත්‍රපට මෙයට ඇතුළත්ය.
මල්යානාව – වෙස්සන්තරහී කම්ස් ෆ්‍රොම් ජැෆ්නා, ඔතැලෝ – වෙස් මුහුණු – අංගුලිමාල – අල්ලපු කාමරය – ඔන්න බබෝ ඇතින්නියා රුක්මණී පසුකාලීනව රඟපෑ වේදිකා නාට්‍යය.
1966 සරසවි සම්මාන උලෙළේ දී ජනප්‍රිය ගායිකාව ලෙස ඕ සම්මාන ලබා ගත්තාය.
ඇයට පසුබිම් ගායනයට හිමි සම්මානය හිමිවූයේ මියගිය පසුවය. 1979 වසරේ දක්ෂතම ගායිකාව ලෙස ජනාධිපති සම්මානය ඇයට හිමි වූයේ ‘අහසින් පොළොවට’ චිත්‍රපටයට ගැයූ දරු නැළවිලි ගීතයටය. ඇය OCIC විශේෂ සම්මානයකින් ද පිදුම් ලැබුවාය.
රුක්මණී හැම නළු නිළියන්ගේම ගෞරවාදරයට පත් වූයේ ඇගේ තිබෙන නිහතමානි ගතිගුණ නිසාය. කිසිදා ඇය හැමටම අතහිත දුන්නා මිස ඔවුන්ගේ අඩුපාඩු කතා නොකළාය. ඕපදූප කතා නොකළාය. තමාට අත හිත දුන් අය ඇය අමතක නොකළාය. උතුරා යන මානව භක්තියකින් සැමට සැලකුවාය. කොයි තරම් රසික රසිකාවන් ඇයට ආදරය කළා ද යන්න ඇයවත් දැන නොසිටියාය.
1978 ඔක්තෝබර් 28 වෙනිදා උදේ 8.30ට පමණ ජාඇළ තුඩැල්ලේ දී ඇතිවූ මාරක රිය අනතුරකින් සිංහල සිනමාවේ අසහාය නිළිය හා ගායිකාව වූ රුක්මණී දේවිය මියගිය ශෝකී පුවත ගුවන් විදුලියෙන් හා පුවත්පත්වලින් ඉතා සංවේගයෙන් දැනුම් දුන්නේය.
පුරා හතළිස් වසරක කලා ජීවිතය සැමරීමේ අදහසින් ‘ස්වර්ණ ගී’ නම් ඒකපුද්ගල ගීත ප්‍රසංගයක් ඔක්තෝබර් 29දා (මියගියදාට පසු දා) කොළඹ කාන්තා විද්‍යාලයීය ශාලාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන සිටියාය. ඇය මාරක ගමන ගිය ඔක්තෝබර් 28 වෙනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති ශාන්ත තෝමස් විද්‍යාලයීය සැණකෙළියේ දී අවසන්වරට ඇය ගීත ගැයුවේ සිය සැමියා එඩී සමඟය. මාතර තානායමේ රාත්‍රි භෝජනය ගෙන රුක්මණී හා එඩී වෑන් රියක නැඟී වත්තල හැඳල එඩීගේ නිෙවසට පැමිණ මීගමුව බලා යන විටය මේ අනතුර සිදුව ඇත්තේ. මියගිය රුක්මණී දේවිය සිහිකිරීමට ඇගේ හොඳම රසිකාවක් වූ ලීලා කෝට්ටේගොඩ තම වියදමින් ප්‍රතිමාවක් නිර්මාණය කර 1980 ජනවාරි 15 වෙනිදා ජාඇල තුඩැල්ලේ රුක්මණී මියගිය ස්ථානය අසල ඉදි කළාය. ඇය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කර උපහාර දැක්විය.