Monday, May 5, 2025
Home » සටන් විරාමයකට අකමැති වූ ඊශ්‍රායලය ගාසාවට

සටන් විරාමයකට අකමැති වූ ඊශ්‍රායලය ගාසාවට

by gayan
October 28, 2023 1:00 am 0 comment

රජිත බස්නායක

මේ වන විට ඊශ්‍රායලය හා හමාස් සටන් කණ්ඩායම් අතර පවතින යුද්ධය කෙසේ වෙතත් යුද විචාරකයන්ගේ අදහස වන්නේ මෙම යුද්ධය හා තවත් බොහෝ රටවල් එක්වීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කරන බවය. මේ වන විට යුරෝපාකරයේ ප්‍රබල රටවල් කිහිපයක්ම වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන් ද එය ඔප්පු කරනු ලැබුවේ පෞද්ගලිකවම ඊශ්‍රායලය වෙත ගොස් එරට අගමැතිවරයා හමුවීමෙනි. මැදපෙරදිග පවතින ඉස්ලාමීය ආගම නොඅදහන එකම රට වන්නේ ඊශ්‍රායලයයි. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක්ම ඊශ්‍රායලයට සහාය දක්වන මූලිකම හේතුව එය බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. එම නිසාම බොහෝදෙනෙක් විසින් භූමිය සම්බන්ධ ගැටලුවක් මෙන්ම ආගම මුල් කර ගත් ගැටලුවක් බවට ද මෙය හඳුන්වයි. ඒ කතා කෙසේ වෙතත් තුන්වන ලෝක යුද්ධයකට මෙන් මේ වන විටත් රටවල් දෙපිරිසකට බෙදී අවසන්ය. එය ප්‍රබල පෙළේ බල කඳවුරු දෙකක් වැනිය. මේ වනවිට ඊශ්‍රායලයට සහාය දෙන කඳවුර ලෙසින් අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, නෝර්වේ, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, කැනඩාව, පෝලන්තය හා ඉන්දියාව ප්‍රමුඛව පෙනී සිටින අතර, පලස්තීනයට සහාය දෙන්නන් අතර ප්‍රමුඛව ඇත්තේ ඉස්ලාමීය ආගම අදහන රටවල්ය. ඒ අතරින් පලස්තීනය වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටින රට වන්නේ ඉරානයයි. එමෙන්ම කටාර් රාජ්‍යය, ලෙබනනය, යේමනය, අරාබිය, තුර්කිය, සිරියාව හා ජෝර්දානය යන රටවල් මේ අතුරින් පෙනී සිටී. කවුරු කවරාකාරයෙන් කතා කළ ද ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාරයන් සීමා කිරීමට හෝ නවතා දැමීමට කිසිදු තීරණයක් මේ මොහොත වන විටත් ගෙන නැත. මේ වන විට ගාසා වෙත එල්ල කරනු ලැබූ ප්‍රහාරයන්ගෙන් හමාස් සටන්කාමීන් ද ඇතුළු සිවිල් වැසියන් 7000කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, හමාස් සංවිධානයේ ප්‍රහාරයන් හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් 1500කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ඊශ්‍රායල බලධාරීන් පවසයි. සිදුවන සිදුවීම් හේතුවෙන් ඊශ්‍රායලය තුළ අල් ජසීරා විකාශයන් නවතා දැමීමට එරට බලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ හමාස් සංවිධානයට මෙන්ම තමන්ට විරුද්ධව කටයුතු කරන සංවිධානයන්ට පක්ෂපාතීව ප්‍රවෘත්තීන් පළ කිරීම හේතුවෙනි.

කොයිහැටි වෙතත් අනුන්ගේ දබරයකට මැදිහත් වන්නට ද එලොව පොල් පෙනෙන්නට කන්න වෙන වෙලාවල් ද නැතුවා නොවේ. එහෙම කෑමකට සූදානම් වන්නේ කවරෙක් ද යන්න නිශ්චිතවම කිව නොහැකි මුත් ඊශ්‍රායලය මුල සිටම ඉරානයට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරමින් උන්නාය. මේ අතරවාරයේ සිරියාවට ද ප්‍රහාර කිහිපයක්ම ඊශ්‍රායලය විසින් එල්ල කළ අතර, පසුගියදා ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට ප්‍රහාරයක් ද එල්ල කරන්නට සමත් විය. ඔවුන් හිස්බුල්ලා සටන්කාමීන්ට ද වේලාසනින්ම නිවේදනයක් නිකුත් කර කියා සිටියේ මේ සඳහා මැදිහත්වීමට කටයුතු කළ හොත් ඔවුන් අතුගා දමන බවයි. එහෙත් හිස්බුල්ලා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීමට සම්පූර්ණයෙන්ම සූදානම් බවයි.

පසුගිය ඉරිදා ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ලෙබනනයේ දේශසීමා ආසන්නයේ සංචාරයක නිරත විය. ඉන්පසු ඔහු ප්‍රකාශ කර සිටියේ “අපි ඉන්නේ ජීවිත සටනක, මෙය අපේ ගෙදර වෙනුවෙන් කරන සටනක්, ඒක අතිශයෝක්තියක් නොවෙයි මේක යුද්ධයක්. අපි ඒක කරන්න නම් ඔවුන් මිය යා යුතුයි” යනුවෙනි.

මේ මොහොතේ ඊශ්‍රායලය සිටින්නේ ලෝක යුද්ධයක අභිමුව වාගේය. ඔවුන් නිරන්තරයෙන් ගාසා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ඊළඟට පැමිණෙන ප්‍රහාරය වඩාත් බලගතු යැයි කියන්නාක් මෙනි. මහ සුළඟට පසු පතිත වන වර්ෂාව කවදත් සැරය. එය මුසු වන්නේ සුළං පහරත් සමඟිනි. එය ඉතාමත් විනාශකාරීය. මෙය හොඳින්ම අවබෝධ කර ගනු ලැබුවේ ඉරානයයි. මේ නිසා පසුගිය සතියේ දිනක ඉරානය ද ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කළාය. ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ ඔවුන් ගාසා තීරය වටලනු ලැබ සිටින්නේ ගොඩබිම් ප්‍රහාරයකට තමන්ට අණ ලැබෙන තුරු බවයි. එම කතාවේ තේරුම අපි ගාසාවලට කොහොමත් කොයි වේලාවේ හෝ ගොඩබිමින් පහර දෙනවා වැනි කතාවකි. මෙකී කතා මැද පසුගිය සතියේ දිනක ඉරාන විදේශ ඇමැති Hossein Amir Abdullahian ටෙහෙරානයේ සිට ප්‍රකාශ කරනු ලැබුවේ ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වන බවත් එවැන්නක් සිදුවුවහොත් ඊශ්‍රායලයට එරෙහිව සිදුවිය හැකි පූර්වගාමී ක්‍රියාමාර්ගයක් ගැන අනතුරු ඇඟවීමක් ද සිදු කරන බවයි.

මේ වන විට හිස්බුල්ලා සටන්කාමී සංවිධානයේ ප්‍රධානියා තමාව මුණගැසුණු බවත් ගාසා වෙත තවදුරටත් ප්‍රහාර එල්ල වුවහොත් හිස්බුල්ලා සටන්කාමීන් ද ප්‍රහාර එල්ල කළ හැකි යැයි ද සඳහන් කළ කළේය. එපමණක් නොව පූර්වාරක්ෂක පියවරක් ලෙසින් ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල විය හැකි යැයිද සඳහන් කළේය. ඔහු තවදුරටත් පවසා සිටියේ අද දවසේ ගාසා තීරය ආරක්ෂා නොකළහොත් හෙට දවසේ ළමා රෝහලට පවා පොස්පරස් බෝම්බවලින් ආරක්ෂා වීමට සිදුවනු ඇති බවයි. මේ අතරවාරයේ ඉරාන විදේශ ඇමැතිවරයා කියා සිටියේ මානව හිමිකම් කණ්ඩායම් පවා ඊශ්‍රායලය විසින් පොස්පරස් බෝම්බ භාවිත කර ඇති බවට චෝදනා කර ඇති බවයි. එහෙත් ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් විසින් ද සඳහන් කර සිටියේ ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය හමාස් භටයකු සන්තකව තිබී රසායනික අවි පිළිබඳව සටහනක් තිබී හමු වූ බවය.

කොයිහැටි වෙතත් ඉරානය නිරන්තරයෙන් පවසන්නේ මෙම ගැටුම තවදුරටත් ගාසා තීරයේ ප්‍රසාරනය වී ගියහොත් තත්ත්වය වඩාත් භයානක වී තවත් කණ්ඩායම් මේ සඳහා සහභාගි විය හැකි බවයි. මේ වන විට ඊශ්‍රායලය අමෙරිකාවේ ඕනෑඑපාකම් ඉටු කරමින් සිටින බවත් ඔවුන් පවසන ආකාරයට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන සියලු ප්‍රහාරයන්ට අමෙරිකා එක්සත් ජනපදය වගකිව යුතු බවයි. ඉරානය පවසන්නේ අමෙරිකාවේ පදයට නටන්නට ගොස් අවසානයේ සිදුවන්නේ කුමක් ද යන්න ඊශ්‍රායලය අවබෝධ කරගත යුතු බවයි. මේ ආකාරයට අමානුෂික ආකාරයේ මානුෂීය සංහාරයන් සිදු කළහොත් ඕනෑම මොහොතක ඕනෑම ආකාරයේ සිදුවීමක් සිදු විය හැකි බවයි. තවදුරටත් මේ ආකාරයේ ප්‍රහාරයක් දියත් වුවහොත් මැදපෙරදිග කලාපය පාලනයෙන් මිදිය හැකි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් දුරදිග යන ප්‍රතිවිපාක ඇතිවීමෙන් ඒවා බොහෝ දරුණු මෙන්ම කටුක ඒවා විය හැකි බවයි. ඉරානය එසේ කියූවද බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවන් වෙත ප්‍රකාශ කර සිටියේ හමාස් සංවිධානයට එරෙහිව දිගින් දිගටම යුද කටයුතු පවත්වාගෙන යන ලෙසයි.

අමෙරිකානු සහාය

ඉරානය විසින් අමෙරිකා එක්සත් ජනපදයට චෝදනා එල්ල කළ ද හමාස් සංවිධානය විසින් යුද්ධය ඇතිවීමට බටහිර රටවල් වගකිව යුතු බව ප්‍රකාශ කළ ද ඊශ්‍රායලයට සහාය පළ කිරීම මෙන්ම යුද ආධාර ලබාදීම කෙරෙහි ද ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඊශ්‍රායලය මේ මොහොත වන විටත් ගාසා තීරයට ගුවනින් ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ අමෙරිකාවේ නිෂ්පාදිත ජෙට්යානාවලිනි. එමෙන්ම ඊශ්‍රායලයට අයත් ඩෝම් සඳහා භාවිත කරන ඇතැම් මිසයිල නාශක ද නිශ්චිත ඉලක්කයන්ට එල්ල කළ හැකි මිසයිල ද සියල්ල අමෙරිකාවේ නිෂ්පාදිත ඒවාය. කෙසේ වෙතත් ඉරානයේ ආධාර ලැබෙමින් වැඩෙන හමාස් සංවිධානයට වඩා පියවර කිහිපයක්ම ඉදිරියෙන් සිටින සංවිධානයක් ලෙසින් හිස්බුල්ලා සටන්කාමීන් හැඳින්විය හැකියි. මන්ද හමාස් සංවිධානයට වඩා අධිබලැති ප්‍රහාරක අවි ඔවුන් සතුව ඇති බැවිනි. යුද විශේෂඥයන් පවසන ආකාරයට නිවැරැදි ඉලක්කයට එල්ල කළ හැකි රොකට් 150,000ක් පමණ ඔවුන් සතුය. යම් හෙයකින් තවත් කලකට පසු ඊශ්‍රායල හමුදාව යුද්ධයෙන් හෙම්බත්ව සිටින මොහොතක හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රහාර එල්ල කරන්නට සූදානම් වුවහොත් යුද්ධයේ අවසානය කවරාකාර ප්‍රතිඵලයක් ගනී ද යන්න සැක සහිතය. මන්ද උවමනාවටත් වඩා නිහඬතාව මහා විනාශකාරී අනාගතයක පෙරනිමිත්තක් බැවිනි.

මේ මොහොතේ ඊශ්‍රායල හමුදාව ගොඩබිම් ප්‍රහාරයකට ගාසාවට ඇතුල්ව අවසන්ය. එම නිසා ඉරානය ප්‍රකාශ කළ දෑ සත්‍යයක් විය හැකියැයි ද බලා සිටීමට මද කලක් ගතවනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT