Monday, May 5, 2025
Home » සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරු මොරායස් ඉවත් වෙයි

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරු මොරායස් ඉවත් වෙයි

by gayan
October 28, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

නීති ක්‍රියාවලිය, විනිසුරුවරුන් සහ නීතිඥයන් පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීම මඟින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා ඊයේ (27) ඉවත් විය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කරන ලදි.

එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ අභියාචනාධිකරණය විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා හලාවත අධිකරණයේ කටයුතු කරන සමයේ මෙහි විත්තිකාර සනත් නිශාන්ත මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි.

ඒ අනුව විත්තිකරුට එරෙහි නඩු කටයුත්තකට මීට පෙර සහභාගි වී ඇති බැවින් මේ නඩු විභාගයෙන් ඒ මහතා ඉවත් වන බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. ඒ අනුව අදාළ පෙත්සම් නව විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට තීරණය කෙරිණි. ඒ අනුව එම පෙත්සම් මස 31 දා නැවත කැඳවීමට තීරණය විය.

විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා එම අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරන අධිකරණය සේවා සංගමය සහ නීතිඥවරුන් දෙදෙනකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා නීතිපතිවරයා නම් කර තිබේ. ඉකුත් මැයි මස 9 දා ගාලු මුවදොර, ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නම් කර සිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහු පසුව ඇප මත මුදාහැරිණි.

ඉන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී වගඋත්තරකාර සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අරගලයට සම්බන්ධ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත්‍රාත්වරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වූ බව පෙත්සම්වල සඳහන් වේ. එම ප්‍රකාශය මගින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාසයක් කර ඇති බවද එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක් කොට නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කොට ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් අදාළ ප්‍රකාශය කිරීම නිසා අධිකරණය පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳවැටීමක් සිදු වන බවත් පෙන්වා දෙති. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT