පරිසර ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික පරිසර පනත වෙනුවට රටට කාලීනව ගැළපෙන නව පරිසර පනතක් ගෙන ඒමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුව ඇතැයි පරිසර ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත් මඟින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වර්තමානයේ ක්‍රියාත්මක වේ. එබැවින් දැනට ක්‍රියාත්මක “ජාතික පාරිසරික පනත” සංශෝධනය කිරීමට වඩා නව පනතක් ගෙන ඒම කාලෝචිත බව ඇමැතිවරයා පවසයි.
පනත සංශෝධනය කිරීමෙන් බොහෝ පාරිසරික ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගත හැකි යැයි ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව, පරිසරය සුරකිමින් තිරසර සංවර්ධනයක් වෙත පිය නැඟිය හැකි ලෙස නව ජාතික පරිසර පනතක් ගෙන ඒමේ කටයුතු කඩිනම් කරන ලෙස ඇමැතිවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත පසුගිය 24 දා උපදෙස් දුන්නේය.
මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය හඳුනාගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවති සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව පැවසීය.
නිවාස සංකීර්ණ ඉදිකිරීමේ දී පරිසරයට සිදු වන අහිතකර බලපෑම් පිළිබඳ සොයා බලා එම බලපෑම් අවම කළ හැකි ක්‍රමවේද වෙත යොමු වීමට අවශ්‍ය පියවර ගැනීම, වැසි ජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ආදී වැඩපිළිවෙළ වෙත යොමු වීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ලෝකයම පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවතක් ඇතිකර ගෙන තිබෙන යුගයක අප ද පුළුල් දැක්මකින් යුතුව සෑම ක්‍ෂේත්‍රයක් වෙතම අවධානය යොමුකරමින් හරිත ආර්ථිකයකට අවශ්‍ය පදනම සකස් කිරීමට කටයුතු කළ යුතු යැයි ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.