Monday, May 5, 2025
Home » වරාය නගරයේ ව්‍යාපාර ගිවිසුම්

වරාය නගරයේ ව්‍යාපාර ගිවිසුම්

නීතිපති මතය මසක් ඇතුළත

by gayan
October 28, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරි මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4ක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දිය යුතු බවට තීරණය කෙරිණි.

වරාය නගරය සකස් කිරීමට පෙර, වරාය නගරය සකස්වන කාලසීමාව තුළ සහ වරාය නගරය සකස් කිරීමෙන් පසු යනාදි ලෙස මේ සමාගම් ක්‍රම තුනකට අනුව ගිවිසුම්ගතව ඇති බවත් මේ ගිවිසුම්ගත වීම කිසියම් නීතිමය පදනමක් යටතේ එක් ක්‍රමවේදයක් අනුව සිදු වී නැති බවත් කාරක සභාව පැවසීය.

කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරෙිව සිටින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධ සාකච්ඡා වූ අතර මෙම සමාගම් ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙහිදී කාරක සභා සභාපති පෙන්වා දුන්නේ මෙම භූමිය තුළ මෙම සමාගම් සිදු කරන ඉදිකිරීම් ආදිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වැදගත් වන බවය. අංක 2339/31 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතියද හිමි විය. මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනුමැතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT