Saturday, May 10, 2025
Home » නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ඉදිරියට ගෙනයාම ඇති අභියෝග ගැන ඇමති කියයි

නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ඉදිරියට ගෙනයාම ඇති අභියෝග ගැන ඇමති කියයි

by chanaka
October 30, 2023 9:14 am 0 comment

නව නිපැයුම්කරුවන්ට ස්වකීය නිර්මාණ ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තරය දක්වා ගෙන ගොස් ඉන් ඔබ්බට ඒවා තරගකාරීව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය මූල්‍යමය හා තාක්ෂණික පහසුකම් ලබාදීම අපට ඇති ප්‍රධාන අභියෝගයක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඔක්තෝබර් මස 26 වැනි දිනට යෙදුන ශ්‍රී ලංකා නවනිපැයුම්කරුවන්ගේ දිනය නිමිත්තෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති නව නිපැයුම්කරුවන් ඇගයීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල සෑම ප්‍රාන්තයක ම නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් එකතු කරන්නට විශේෂයෙන් ම වෙන් වූ තැනක් තිබෙන බවත් නිර්මාණකරුවන් නිර්මාණයක් බිහි කළ පසු ව්‍යවසායකයින් විසින් තාක්ෂණය සමඟ එම නිර්මාණය ගළපමින් එය වැඩිදියුණු කරන්නට සහය ලබා දෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, තමා විද්‍යා හා තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයා ව සිටි සමයෙහි නර්ඩ් ආයතනයෙහි වෙනම ඒකකයක් ස්ථාපනය කර නව නිපැයුම් කරන අයට ඉදිරියට යාමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට පියවර ගත් බව ද පෙන්වා දුන්නේ ය.

ඉතිහාසයට දොස් කියමින් සිටිනවා මිස පවත්නා ක්‍රමය වෙනස් කරන්නට කිසිවෙක් උත්සාහ නොගැනීමත්, අප බොහෝ දෙනෙකු තුළ පවත්නා තීන්දු ගැනීමට ඇති බිය සහ ප්‍රමාදයත් නිසා ලොව අප පසුකර ඉදිරියට ගමන් කරමින් සිටින බව ද සඳහන් කළ අමාත්‍යවරයා , වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාල සිසුන් පවා පර්යේෂණ කාර්යයන්හි නි‍යැලෙනවා වෙනුවට බොහෝවිට ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් පාරේ සිටින තත්වයකට පත්ව ඇති බව ද, එහෙත් ජානවලින්ම උරුම වූ නවෝත්පාදන හැකියාවන් රැසක් අපේ රටේ බොහෝ දෙනෙකු සතුව පවත්නා බව ද පැවසීය.

මෙරට පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණයේ විශ්මිත වෙනසක් ඇති කළ ඉංජිනේරුවකු මෙන් ම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ ආරම්භක කොමසාරිස්වරයා වූ ඒ එන් එස් කුලසිංහ මහතාගේ ජන්මදිනය ඔක්තෝබර් මස 26 වැනි දාට යෙදී ඇති අතර එතුමන් සිහිපත් කරමින් එම දිනය තුළ නව නිපැයුම්කරුවන්ගේ දිනය සැමරීමට කටයුතු යොදා තිබේ.

පාසල්, විශ්වවිද්‍යාල, හා විවෘත වශයෙන් අදියර තුනක් යටතේ නව නිපැයුම්කරුවන් 300කට අධික පිරිසකට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT