දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06ක් ඊයේ (30) උදෑසන වන විට අඩි දෙක බැගින් විවෘත කළ බව ජලාශය භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පවසයි. දැදුරු ඔය පෝෂක ප්‍රදේශවලට පෙරේදා (29) දිනයේ සිට ලැබෙන අඛණඩ වර්ෂා තත්ත්වය හේතුවෙන් ජලාශය මේ වන විට පිටාර මට්ටමේ පවතින බවද ඉංජිනේරුවරයා පවසා සිටියේය.
වාන් දොරටු 06 විවෘත කිරීම හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ සිට දැදුරු ඔයට තත්ත්පරයට ඝන අඩි 14,000ක ජල පරිමාවක් මුදා හැරේ.
දැදුරු ඔය පහළ ප්‍රදේශවලට මෙම තත්ත්වය තවමත් ගංවතුර තත්ත්වයක් නොවන බව පැවසූ වාරි ඉංජිනේරුවරයා මින් ඉදිරියටත් වැසි ලැබුණහොත් තවත් වාන් දොරටු විවෘත කිරීමට සිදු වන බැවින් දැදුරු ඔය ජලාශය පහළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසද දන්වා සිටියේය.
කුරුණෑගල ප්‍රදේශයට ඊයේ (30) දිනයේ ලැබුණු අධික වැසි හේතුවෙන් දැදුරුඔයේ අතු ගංගාවක් වන මගුරු ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.
දැදුරු ඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 60,000කි.