ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය දෙසැම්බර් මස පළමු සතියේ දී පවත්වා, මාස තුනක් ඇතුළත පත්වීම් දී අවසන් කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
තුන් දහසක් පමණ වූ ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා ඉල්ලූම්පත්ර කැඳවා තිබෙන බවත් නීත්‍යානුකූලව ඒ සියලු ඉල්ලුම්පත් ලාභීන්ට විභාගයට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන බවත් අගමැතිවරයා කීවේය.
“අලුත් ගමක් – අලුත් රටක්” ජාතික වැඩසටහනට සමගාමීව වව්නියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහන වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) පැවති අවස්ථාවේ දී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ග්‍රාම නිලධාරී පුරප්පාඩු ඇති දුෂ්කර ප්‍රදේශවල විශේෂ සුදුසුකමක් මත විභාගය පැවැත්වීමෙන් අනතුරුව පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවද අගමැතිවරයා කියා සිටියේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
වව්නියාව දිස්ත්‍රික්කය තුළ ප්‍රශ්න රැසක් තිබෙනවා. එක ඉඩම් ප්රශ්නය. දෙවැනි ප්රශ්නය .තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති රීති හා ගැටීම නිසා කාලයක් තිස්සේ ඇති වෙලා තියෙන ප්‍රශ්න. එදා මම ජල සම්පාදන ඇමැතිවරයා ලෙස සිටියදී වව්නියා ජල යෝජනා ක්‍රමය පිළිබඳ විවිධ ව්‍යාපෘතිය ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ එක එක දෙපාර්තමේන්තු විවිධ ගැටලු පෙන්වමින් ජල යෝජනා ක්‍රමය ආරම්භ කරන්න අවසර දුන්නේ නැහැ. ඒත් කොහොම හරි මුදල් වෙන් කරගෙන, කැලෑව මැද්දෙන් වතුර ගෙන ගිහින් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා.
මගේ පියා කර්මාන්ත ඇමැතිවරයා සිටිය දී තරුණ ශිෂ්‍යයෙක් විදියට මම මේ ප්‍රදේශයට කිහිපවරක් පැමිණියා. එතකොට වව්නියාව සුවිශේෂ නායකයෙකුව සිටි සී. සුන්දරලිංගම් මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගිහිල්ලා. හැමදේම පිටරටින් ගේන ඒ කාලේ ලංකාවේ මිදි වවනවා කියන එක පුදුමයක්. සුන්දරලිංගම් මහත්තයාගේ ගෙවත්තේ සැමදෙයක්ම වගා කළා.
ගොවිතැනට බීජ වර්ග අවශ්‍යයි. වැඩි පල දාවක් අස්වැන්නක් ලැබෙන බීජ වර්ග වලට යොමුවීම අවශ්‍යයි. එවැනි බීජ නිපදවිම සම්බන්ධයෙන් වව්නියාව විශ්වවිද්‍යාලයේ අවධානය යොමු කරයි කියල මම හිතනවා. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමේ ඉලක්කයට අපි ගමන් කළ යුතුයි. මේ අවුරුද්දේ කියපු තරම් අර්බුදයකට නොයා රට බේරා ගන්න පුලුවන් වුණා.
උපාධිධාරීන් හෝ උපාධියට කිට්ටු සුදුසුකම් තිබෙන අයට තම දිස්ත්‍රික්කය තුළ, පළාත තුළ ඉල්ලුම්පත් කැඳවා ගුරු පත්වීම් ලබා දෙනවා. අඩුපාඩුව තියෙන විෂයට ගුරුවරුන් පත්කළ යුතුයි.කොළඹින් පත්වීම් දෙනවා වෙනුවට අපි පළාතෙන් පළාත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය පාසලෙන් පාසලට අලුත් අයට පත්වීම් ලබා දෙන්නයි මේ වෙනස ඇති කරන්නේ. එමගින් වව්නියාව දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම දියුණුවේ බලාපොරොත්තු ඇති දරුවන් ගොඩනැගන පාසල් බවට පත්වෙයි.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, රාජ්‍ය ඇමැතිවරුන් වන කාදර් මස්තාන්, ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වන් අඩෙයිකලනාදන්, චාල්ස් නිර්මලනාදන්, නෝහ රාදලිංගම්, කුලසිංහම් දිලිබරන්, යදාමිණි ගුණවර්ධන, ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්. එම්. සමන් බන්දුලසේන, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ සරච්චන්ද්‍ර මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන්, පොදු සංවිධාන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වූහ.
නුවන් කොඩිකාර