Tuesday, May 6, 2025
Home » ශ්‍රී ලංකාවේ ආයෝජනයට ලෝක බැංකුව කැප වෙනවා

ශ්‍රී ලංකාවේ ආයෝජනයට ලෝක බැංකුව කැප වෙනවා

- ලෝක බැංකුවේ මෙහෙයුම් කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බියර්ඩේ කියයි

by sachintha
November 2, 2023 12:18 am 0 comment

පසුබෑමට ලක්ව තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් දිශානතියකට රැගෙන යමින් ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීමට සහ ජනතාවගේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා අඛණ්ඩව කැපවන බව ලෝක බැංකුව අවධාරණය කරයි.

ආර්ථික ප්‍රතිසාධනය සහ තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිසංස්කරණ කටයුතු ඒ අයුරින්ම සිදු කරගෙන යා යුතු අතර ජනතාවගේ දියුණුව, මිනිස් ශ්‍රම, ප්‍රාග්ධනය සහ රැකියා අවස්ථා නිර්මාණය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා ලෝක බැංකුව අඛණ්ඩව කැපවන බව ලෝක බැංකුවේ මෙහෙයුම් කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බියර්ඩේ මහත්මිය සඳහන් කරයි.

සිවු දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ලෝක බැංකුවේ මෙහෙයුම් කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බියර්ඩේ මහත්මිය සිය සංචාරය නිමා කරමින් මේ බව සඳහන් කළාය. ඇනා බියර්ඩේ මහත්මිය ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා, කැබිනට් ඇමැතිවරු, විරුද්ධ පක්ෂවල නියෝජිතවරු, සිවිල් සංවිධාන, පෞද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන් සහ ලෝක බැංකු ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් මුණගැසී සාකච්ඡා කළාය.

ජනාධිපතිවරයා විසින් සූදානම් කරන ලද වටමේස සාකච්ඡාවකට ද ඇය සහභාගි වූ අතර ප්‍රධාන මැති ඇමැතිවරු, පෞද්ගලික අංශයේ නියෝජිතයන් සහ MDB+ වේදිකාවේ සාමාජිකයන් එනම්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු (MDBs) සහ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් ද ඇතුළත් සංවර්ධන හවුල්කරුවන් එම අවස්ථාවට එක් වූ බව ද සාමාජික ආයතනවලට ශ්‍රී ලංකාව සමඟ පවත්නා සිය සම්බන්ධතා සම්බන්ධීකරණය කිරීමට ද එමඟින් හැකියාව සලසා දුන් බව ද ලෝක බැංකුව පෙන්වා දෙයි. මෙම වටමේස සාකච්ඡාව මඟින් අවධානය යොමු කළ කරුණු අතර, ශ්‍රී ලංකාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය, සංවර්ධනය උදෙසා පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීම, රැකියා අවස්ථා නිර්මාණයට සහාය දීම, මිනිස් ශ්‍රම ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම සහ කලාපීය සහයෝගිතාව ආදියට ප්‍රධානත්වය හිමි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT