පෙරේදා මාළිගාකන්ද අධිකරණයේ විභාග වූ නඩුවකට අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් ඖෂධ ගෙන්වූ සමාගමේ සභාපති අත්අඩංගුවට පත්ව ඇත. මුල් කාලයේ අපට තිබුණේ දොස්තරලාගේ අකුරු ප්‍රශ්නය සහ ෆාමසියේ ඉන්න බාගෙට වැඩේ දන්න එකා නිසා බෙහෙත් මාරු වී අවුලක් වෙන ප්‍රශ්නය ය. එහෙම බෙහෙත් මාරු වී, ජීවිතයෙන් මාරු වූ උදවිය විය. දෙන බෙහෙත ගෙන්වන්නෙම කොලිටිය මාරු කර හෙයින්, දැන් මාරු කර බෙහෙත් දෙන එක එතරම්ම අවුලක් නැත.
1970 බලයට පත්වූ සමඟි පෙරමුණු රජය කියවීමට බැරිවීම කොමියුනිස්ට් පක්ෂයේ නායක වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහටත් මහාචාර්ය සේනක බිබිලේටත් පවරනු ලැබූ කර්තව්‍ය වූයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමය. බණ්ඩාරනායක අගමැතිනිය මේ කමිටුව පත් කරන්නේ, ශ්‍රී ලංකාවේ ඖෂධ සඳහා තදබල නියාමනයක් ඇති කිරීමේ අටියෙනි. ඒ වන විටත් ලෝක ඖෂධ සමාගම් තුන්වෙනි ලෝකය, සිය ගරානාවේ උල්පත කර ගනිමින් සිටියේය.
‘සාධාරණ මිලකට, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ඒවායේ වෙළෙඳ නාමයන්ගෙන් නොව, ඖෂධීය නාමයන්ගෙන් ලබා දීම’යන මැයෙන් 1971 මාර්තු 23 දින වෛද්‍ය වික්‍රමසිංහ සහ මහාචාර්ය බිබිලේ වාර්තාව අගමැතිනියට භාර දුන්නාහ. මේ කාලය වන විට ඖෂධ සම්බන්ධයෙන් එහෙම නිශ්චිත ප්‍රතිපත්තියක් ලෝකයට තිබුණේ නැත. ඒ මුල් පාඩම ඉගැන්වූයේ ශ්‍රී ලංකාව වුවත් වසර පනහක් යන විට අපේ බෙහෙත් ප්‍රතිපත්තිය යන්නේ රිවස් එකටය.
හොඳට ගියර් එකට දමා ගියේ නම්, මේ කාලය වනාහි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කියන්නේ ලෝක ආදර්ශයක් වන්නේය. අද අප සපයන ආදර්ශය වනාහි බෙහෙතෙන් පරම්පරා ගාණක් ගොඩ යන්නේ කොහොමද යන්නය. මාළිගාකන්ද නඩුවේදී විත්තියේ නීතිඥ චාන්දනී දයාරත්න පවසන්නී, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ ‘හාල්මැස්සෙක්’ බවය. ඒ කියන්නේ, බාල බෙහෙත් ගෙන්වූ සමාගමේ හිමිකරු ‘ලබා දුන් දායකත්වය අල්ප’ බවය. අපරාධයට සම්බන්ධ ‘තෝරු, මෝරු’ සියලු දෙනා එළියේ සිටින බව ද ඇය අධිකරණයේදී සඳහන් කළාය. නිර්දෝෂී තම සේවාදායකයා මෙම සිද්ධියේ ගොදුරක් වී ඇතැයි ද, හදිසි මිල දී ගැනීම් යටතේ මෙම එන්නත් ගෙන්වීමට අනුමැතිය දුන් සියලු දෙනා අපරාධයේ වගකිව යුත්තෝ බවත් ඇය අධිකරණයට කරුණු කීවාය.
හදිස්සිය කියන්නේ බස් එකේ පොකට් ගහන එකාගේ සිට අපරාධකාරයා සඳහා අවශ්‍යම ආම්පන්නයකි. පාරේ හොඳට ඇඳගෙන යන එකෙක් අපට කියන්නේ, ඒකාට හදිස්සියක් වී ඇති හෙයින් කීයක් හෝ දෙන ලෙසය. එක්කෝ පර්ස් එක නැති වෙලාය. නැතිනම් කවුරු හරි අසනීපයෙනි. ඔහොම නාට්‍යයක් රඟ පා, හදිස්සිය ඉස්සරහට දැමූ කල්හි තාම අහුවෙන එකා ඇත්තේය. මේ නිසා හදිස්සියේ ගහන ගේම තුළ හොරකමේ පදම වැඩිය. ලංකා විදුලිබල මණ්ඩලය පායන කාලය අත ළඟටම ඇවිත්, ලයිට් කපන්න ඔන්න මෙන්න කියා තිබියදී හදිසි මිල දී ගැනීම් සඳහා යන්නේය. ටෙන්ඩර් පටිපාටිය තිබියදීත් කොමිස් ගහන, අයථා ගේම් ගහන එකේ, හදිස්සිය කියා ගත් වන, ඩීසල් බලාගාර හිමියා කියන ගාණට විදුලි ඒකකය ගත යුත්තේය. නොවටිනා ගාණට ඒකකයක් ලබාගෙන, අපේ කළුවර මැකුවා යැයි රටට කියා, අත යටින් අර නිලධාරීන් සහ උඩින්ම ඉන්නා ඈයෝ ගාණ සාක්කුවේ දමා ගනිති.
බෙහෙත් සඳහා ටෙන්ඩර් මණ්ඩලයේදී ගේමක් ගසාගත නොහේ නම්, ඒ ෆයිල් එක පැත්තකට කර කාලයක් තබන්නේය. මහ මඟ වාහනයක් අක්‍රිය වූ විට, තව වාහනයක් පැමිණ ලණුවක් දමා ගරාජයට අර වාහනය අරගෙන යන්නේය. එහෙම කේස් ටෙන්ඩර්හිද ඇත. තමනට අවශ්‍ය ටෙන්ඩර්කරු වෙත බඩු නොයන්නේ නම්, ‘ඇදගෙන යෑම’ එළ වැඩකි. දළ බෙහෙත් වුවමනාව තේරුම් ගෙන එය සංඛ්‍යා සහ වගු බවට පත් කර ගත් විට, ඉදිරියේ අවශ්‍ය වන බෙහෙත් ප්‍රමාණය කල්තියා තීරණය කර ගත හැකිය. එසේ තිබියදී මුන් ඇදෙන්නෙම, හදිස්සි මිල දී ගැනීම් සඳහාය. ඒවා වල් වාසි බලා ගහන ගේම් වේ. පෙරේදා බාල ඖෂධ නඩුවේදී අනාවරණය වන්නේ සප්ලයර් පමණක් හම ගසා ගේම නිමා නොවන බවය. සිය සේවාදායකයා මේ ගැන පාපෝච්චාරණයක් කිරීමට සූදානම් කියූ විට, ලොකු පුටු ගණනාවක්, සුළු දියෙන් තෙත් වන්නට ඇත. මේ වනාහි අපේ නිදහස් සෞඛ්‍යයේ තරාතිරමය. වැඩි කළ වැට් බද්ද ආදිය, ඔහොම වට ගසා යන්නේ එක එකාගේ සාක්කුවට නම්, ඒවාට වැට බැඳිය යුතුය. අලුත් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පෙරේදා ගත් තීන්දුවට මේ තීරුව ස්තුති කියා නවතින්නේ නැත. වැඩේ පත්තුවේගෙන එනකොට කලින් ඇමැතිවරු ද ඔය තැටිය ගැසූහ. ඒවාට පබ්ලිසිටි ද ලැබුණි. ඒත් තවලම හපුතල් ගියේය.
සේනක බිබිලේ සම්පාදනය කළ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යනවා කියා, බිබිලේ පින්තූරයට මල් මාලා දාන අයෙක් ඇමැති විය. හේ වහ වහා ‘ටුවෙන්ටි ටුවෙන්ටියක්’ සඳහා යොමු වූයේ ලැබුණු චාන්ස් එකේ ටෙස්ට් ගහන එක අවුල් නිසාය. දිගට හරහට හොරා කා, දත්ත පද්ධතිය ද අතුරුදන් කර අදත් පැත්ත මාරු කිරීමට ඉව අල්ලමින් හේ සිටින්නේය. ඔහොම බයිලාකාරයෝ දැක ඇති හෙයින්, එකපාරට හදිස්සි මිල දී ගැනීම් නැවැත්තුවා යැයි කියූ පළියට, වැඩේ හරි යැයි කියන්නට අපි හදිස්සි නොවෙමු. මාළිගාකන්ද උසාවියේ ඇසෙන බාල බෙහෙත් නඩුව නියම කේස් එකකි. ඒ ඔස්සේ යා හැකි නම් තව ගේම් ගණනාවක් මාට්ටු වෙනවා නියතය.