– හසීනාට ගෙදර යන්නැයි ලක්ෂයක් ඩකා නුවර මහපාරේ
– මානව හිමිකම් කොමිසමත් විමසිල්ලෙන්
අගමැතිනිය ෂෙයික් හසීනාට අගමැති ධුරයෙන් ඉවත් වී භාරකාර රජයක් යටතේ මහමැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ලක්ෂයකට අධික ජනතාව බංග්ලාදේශයේ ඩකා අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩකා නුවර මෙන්ම තවත් නගර රැසකට මේ විරෝධතාව පැතිරී ගොස් ඇති අතර, පොලිසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගැනීමේදී විරෝධතාකරුවන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද වාර්තා වේ.
බංග්ලාදේශයේ මහමැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත අතර, නිදහස් සහ සාධාරණ මැතිවරණයකට අවස්ථාව සලසා භාරකාර රජයක් පත් කර අගමැතිනියට සහ රජයට ඉල්ලා අස්වන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ. විරෝධතාව සංවිධාන කළ විපක්ෂ නායක මිර්සා ෆක්රුල් ඉස්ලාම් ඇතුළු විපක්ෂයේ සාමාජිකයන් පිරිසක් පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අතර වැටුප් ඉහළ දමන ලෙසත්, අගමැතිනියට තනතුරෙන් ඉවත් වන ලෙසත් ඉල්ලා එරට ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් ද වීදි බැස උද්ඝෝෂණයක නිරත වන බව වැඩිදුරටත් වාර්තා වේ. බංග්ලාදේශයේ පවතින තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ද අවධානය යොමු කර ඇති බවත්, එරට සාමය ස්ථාපිත කරන්නැයි බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් වාර්තා වේ.